Monday, May 4, 2026

ඇයද යා යුතුය ගම

ඇයද යා යුතුය ගම
අප වැනිම විය යුතුය
ඇවිදින් ඇයද නගරයට
සොයන්නට බඩ වියත
යා හැකිය නොතකා මීටරේ ඉඩ
ඇය වැනි තවත් කිහිප දෙනෙකුට


පොදි බැඳන් අවිනිශ්චිතය
හිර කරන් බඩු මල්ල
එල්ල ගෙන කර මතින් ජීවිත
හිර කෙටුණු දුමිරිය පෙට්ටි වල
ගම යන්න හදිස්සිය
ඇඳිරි නීතිය වැටෙනු පෙර.

කිරි කහට කෝප්පය
රැය නිදන්නට ඉඩ නොදුන්
වැඩක් නැති දහවල
සෝදන්නෙ ගම යන්න දෑතම
කිම පලය දහවල සේදු අත
රේල්ලුවෙ ඉඩ නැතිව හිට ගන්න

ඉඩක් නැති කහින්නට
හෙටක් නැති හිතන්නට
කණස්සලු හිත් තොග පුරවගෙන
පීලි මත ගාට යන රේල්ලුව
වැරදිලා අවසන් නැවතුම
පැමිණ ඇත කොරෝනා නගරෙට

ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට විත් “තණ කොළ කපනවාගස් කපනවා” යැයි කෑ ගසමින් ගිණි ගහන මධ්‍යහනේ පාරවල යන තරුණන් මම දැක ඇත්තෙමි. මහත්වරු සේ අන්දවා මදුරු තලා ටෙනිස් පිති වනන්නට පදිකයේ සිටුවා ඇති අහිංසකයින් මම දැක ඇත්තෙමි. “මෑන්පවර්” රැකියා ඒජන්සි මගින් තුට්ටු දෙකේ දෛනික වැටුපකට දිනකට පැය 12 ක් කඹුරණ තරුණියන් මට හමුව ඇත. නගරයේ මැද පංතිකයින් සුඛෝපභෝගී වාහන වල පැමිණ උදේ හවස සනීපාරාක්ෂාවට ඇවිදින බෙල්ලන්විල මන් තීරු අසළ පාරේ රාත්‍රිය ත්‍රීරෝද රථයේම නිදා ගන්නා තරුණන් සමග මා කතා කර ඇත. වැඩ මුරය අතිකාලය බවට පත්ව දවසම හිට ගෙන සේවය කරන්නට වන සුපර්මාකට් තරුණ තරුණියන් ඔවුන්ගේ දුක කියනු මම අසා ඇත්තෙමි. කොරෝනාව හමුවිනැයි ප්‍රකාශ වූ පසු ගෙවී ගිය සතිවල ආදායම් සොයා ගත නොහැකිව මුලු දවසම කහට කෝප්පයකින් දවස ගෙවූ තරුණන් මට හමුව ඇත.   

පැය කිහිපයක දැනුම් දීමකින් රටම වසා දැමීමේ ඇඳිරි නීතිය ඉකුත් සිකුරාදා පැනවූ පසු කොළඹ තව දුරටත් නැවතිය නොහැකි වූ මේ අසරණනුන් ඔවුනගේ ගම් බිම් බලා යන්නට පොරකන විටඔවුන්ට දොස් නැගූ නාගරික මැද පංතිකයින්ගේ අවලාද මම අසා සිටිියෙමි. ගම නොගොසින් ඉන්නා තැන සිට කෝවිඞ්-19 වයිරසයෙන් ආරක්ෂා වන හැටි ඔවුන්ට ඉගැන්වීමට සමාජ මාධ්‍ය ජාල වලට ගොඩ වූ සුව පහසු ජීවිත සඳහා බඩු තොග ගසා ගත් නෝනලාගේ මහත්වරුන්ගේ පාණ්ඩිත්‍ය මම දුටුවෙමි. ඒවායේ ඇති ආත්මාර්ථයද මම දුටුවෙමි.

මෙය ලියූවේ ඒ සියල්ල ගැන මට ඇති අපුල සමග මේ ඇඳිරි නීති සමගින් වන හිතුවක්කාර පිළිවෙත් නිසා මුල් උදුරා දැමෙන මේ රටේ සියයට 40 ක් පමණ වන අසරණුන් වෙනුවෙනි. ඔවුන්ද ඇතුලුකර ගත හැකි විසඳුම් නොමැත්තේ නම් කෝච්චිය යන්නේ වැරදි පීල්ලක යැයි කීමටය.

කුසල්
2020 මාර්තු 22  

සතුට, සැපත සෞභාග්‍ය කරා යන මාවත තෝරා ගැනීමේදී

ලියාපදිංචි තැපෑලට අමතරව

විද්‍යුත් තැපෑලෙන් dissanayaka_a@parliament.lk   
වෙත යොමු කර ඇත.

2019 අගෝස්තු 26 වන දින

හිතවත් අනුර කුමාර සහෝදරය,

ඔබ ඉදිරිපත් කළ ඇතැම් අපැහැදිලි කාරණා පැහැදිලි කරගැනීම වෙනුවෙනි.

පසුගිය 18 වන ඉරිදා දින ගාලුමුවදොර පිටියේ පැවති යෝධ රැළියේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය බාර ගනිමින් ඔබ කළ කතාව මා ඇසුවේ අන්තර්ජාලයෙනි. එවැනි කතාවකින් අනෙකුන්ගෙන් තමන් මූලික වශයෙන් වෙනස් වන්නේ කොතැනින්ද හා කෙසේද යනු සැකෙවින් හෝ පැහැදිලි කිරීම අතිශයෙන් වැදගත් වූවකි. ඔබ ඔබගේ කතාව වැදගත් තේමා කිහිපයක් යටතේ සංවිධානය කරගෙන තිබූණත් ඒ හැමකම මා දුටුවේ පවතින වටපිටාව පිළිබඳ සුපුරුදු විවේචනය පමණි. ඔබ කියූ අයුරු අප පැමිණ ඇති මේ තීරණාත්මක මංසන්ධියෙහි “සතුටසැපත සෞභාග්‍ය කරා යන මාවත තෝරා ගැනීමේදී” මෙතෙක් පැමිණි ගමනෙහි අසාර්ථකත්වයන් සමග ඒ මාවතේ ඇති සාධනීය වෙනස සම්බන්ධ කතාවක් නොවේ. ඒ විවේචනයට අප බොහෝදෙන එකඟවන බව සැබෑය. එදින ගාලුමුවදොර පිටියට පැමිණි සැමට ඒ විවේචනය ඇත.

එනිසා ඒ විශාල සෙනග හමුවේ තැබිය යුතු වූයේ ඔබ යෝජනා කරන්නාවූ “වෙනස” පිළිබඳ පැහැදිලි කිරීමකි. ඒ සිදුවූ අඩුව පිරිමසා ගැනීම වෙනුවෙන් ඔබගේ කතාවෙන් මතුවන කරුණු කිහිපයක් ගැන ඔබගේ සහ ජාතික ජන බලවේගයේ ස්ථාවරය දැන ගැනීමට මෙය යොමු කරමි.

මීට පෙර නව හමුදාපති පත්වීම පිළිබඳව ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔබගේ ස්ථාවරය විමසමින් අගෝස්තු 20 වන දින ඔබගේ නිල විද්‍යුත් තැපෑලට මා යොමු කළ විමසුමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් ඊටද පිළිතුරු සමග මෙම කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොපමාව බලාපොරොත්තු වෙමි.

01. මේ රටේ වත්මන් ජනමාධ්‍ය භාවිතය පිළිබඳව ඔබගේ කතාවෙහි කිසිදු සඳහනක් නොවීම බරපතල අඩුවක් යැයි සිතමි. රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වයෙහි එතරම් වෙනසක් නොමැති ජනමාධ්‍යජනතාව නොමග යවනමිථ්‍යා විශ්වාස වපුරනසමාජයට වග නොකියනදේශපාලන තේරීම් මත කෙරෙන බොහෝවිට වර්ගවාදී ආගම්වාදී අතිශය බාලදූෂිත භාවිතයකි. එය තේරුම්ගත යුත්තේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අතර හිමිකාරිත්වය පිළිබඳව ඇති වෙනසද සමගින්ය. විද්‍යුත් මාධ්‍ය විකාශනය වන සංඛ්‍යාතවල හිමිකාරිත්වය ඇත්තේ සමාජයටය. ඒවා කිසිවකුට මිලට ගැනීමටත් අලෙවි කරන්නටත් අයිතියක් නැත. ඔබේ පක්ෂය “වී-එෆ්එම්” විකාශනය වෙනුවෙන් ලබාගත් සංඛ්‍යාත මීට වසර ගණනාවකට පෙර විශාල මුදලකට අන් සතු කර ඇත. එයද විශාල දූෂණයකි. එවගේම 2015 ජනවාරි ජනාධිපතිවරණ කාලය පුරා ඔබලා ඉතා තියුණු විවේචනයකට හා විරෝධයකට නතු කළ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2015 ජුනියේ පමණ සිට පුදුමාකාර නිහැඬියාවකට පත්වූයේද කොළඹ පෝට් සිටිය වෙනුවෙන් ප්‍රචාරාත්මක කටයුතු සඳහා කොන්තරාත් ලබාගත් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් සමග එලැඹි අවස්ථාවාදී සම්මුතියක් නිසා යැයි ප්‍රසිද්ධ චෝදනාවක් ඇත. එවැනි දූෂණ සඳහා මතු ඉඩක් නොතියනසමාජ වගකීමක් ඇති ආචාර ධර්ම මත භාවිත කෙරෙන සදාචාර සම්පන්න  නව මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් ඔබ හා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන්නාවූ මූලික ප්‍රතිපත්තීන් කවරේදැයි පැහැදිලි කළ යුතු යැයි මම ඉල්ලමි.
 
02. පෞද්ගලික නිදහස සහ මේ රටේ වැඩකරන ජනතාව ගැන ඔබ අවධාරණයෙන් කියූවේ ඔවුන්ගේ ආදායම පමණක් නොව සමාජ ජීවිතයද දියුණු කෙරෙන ආකාරයේ නව සංවර්ධනයක් ගැනය. ඒ වෙනුවෙන් පෞද්ගලික නිදහසද තහවුර කරන බවය. එහෙත් ඔබලා නිල වශයෙන් පංගුකාරිත්වයක් දැරූ සහ ඔබලා හවුල්වී පිහිටවූ ආණ්ඩු ඇතුලු හැම ආණ්ඩුවක්ම මිලියන 02 ට වැඩි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ මූලික අයිතියක් වන “වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීමේ අයිතිය” හාම්පුතුන්ගේ වුවමනාවන් වෙනුවෙන් ඉතා මෘග ලෙස යටපත් කළ බවත් වර්තමානයේ එය ඉතා සාහසික ලෙස කෙරෙන බවත් ඔබ හොඳාකාරවම දන්නා කරුණකි. එබැවින් හාම්පුතුන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන් සමග එම මූලික සේවක අයිතිය පිළිගැනීම අනිවාර්ය කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කම්කරු නීති සංශෝධන කරන්නේද යන්නත් වෘත්තීය සමිති සාමාජිකත්වය වෙනුවෙන් ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති වෙත කිසිදු විශේෂත්වයක් නොකරන හා අනුග්‍රහයක් නොදෙන බවටත් සහතික කරන මෙන් ඉල්ලමි.

එවගේම ඔබ යෝජනා කරන නව සංවර්ධන මාවත ගැන කතාවෙහි ජාතික කම්කරු ප්‍රතිපත්තියක් ගැන සඳහනක් නොවුනි. පලදායි ලෙස ශ්‍රමය යොදා ගත හැක්කේ තෘප්තිමත් සේවක පිරිසක් සිටින්නේ නම් පමණකැයි මම විශ්වාස කරමි. ඒ සඳහා ආණ්ඩුවකට ශ්‍රමිකයින් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැන්නක් සමග පැය 07 ක වැඩ දිනයක් ඇතිව පැය 35 ට සීමාවූ දින 05 ක වැඩ සතියක් සහ මාසික අවම ජාතික වැටුප රුපියල් 50,000 ක් (මෙය මාසයකට දින 09 ක් පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගිවීම අනිවාර්ය නොවනසියලු වරප්‍රසාද හා දීමනා ලබන මන්ත්‍රීවරයෙකුගේ මාසික නිල ආදායමෙන් තුනෙන් පංගුවකි) ලෙස තීන්දු කරන්නට සූදානම්ද යන්න ප්‍රකාශ කළ යුතු යැයි මම ඉල්ලමි.

03. “ජාතික ආරක්ෂාව” ගැන ඔබ ගාලුමුවදොර පිටියේත් සජිත් ප්‍රේමදාස බදුල්ලේදීත් කියුවේ ඒ සඳහා වාර්ගික හා ආගමික සමගිය අත්‍යාවශ්‍ය බවය. ඒ ගැන මත භේදයක් නැත. එනමුත් අවුරුදු 70 ට අධික කාලයක් මේ රටේ සිංහල බෞද්ධ ආධිපත්‍ය වෙනුවෙන් වාර්ගික බෙදීම් වගා කළ බවත් ඒ සමග අවුරුදු 30 ට ආසන්න කාලයක් ජීවිත දහස් ගණනක් විනාශ වූ තරුණියන් දහස් ගණනක් වැන්දඹුවන් වූදරුවන් දහස් ගණනකට දෙමාපියන් අහිමිවූ සහ තවත් සිය ගණන් තරුණන් සදාකාලික අබ්බගාතයින් කළ ඉතා ම්ලේච්ඡ මෘග යුද්ධයකට ගොදුරුවූ බව ඔබගේ කතාවෙහි අමතක කෙරුණකි. ඔබ ජාතික ආරක්ෂාව පිළිබඳව පැහැදිලි කිරීමේදී පවා ඒ යුද්ධය සමගින් තවමත් ඉතිරිව ඇති වාර්ගික බෙදීම අමතක කර නිදසුන් ලෙස ගනු ලැබූයේ සිංහල ප්‍රදේශයන්හි මුස්ලිම් ජනතාව සාම්ප්‍රදායිකව පැවත එන දර්ගාමාවනැල්ලගම්පොළ වැනි නගර ආශ්‍රිත ආරක්ෂක කපොලු ය. 

ඔබගේ කතාවෙහි “මාතෘ භූමියජාතික ආරක්ෂාවජාතික සමගියසමාන සැළකීමනිදහස” වැනි වචන මා තේරුම් ගන්නා අයුරු දේශපාලන වශයෙන් අර්ථ ගැන්වූයේ සිංහල ජනතාවගේ අවශ්‍යතාවක් ලෙසින්ය. ඒ සිංහලවාදී ආරක්ෂණය සමග ”යුද්ධයඅවතැන්වූවන්අතරුදහන්වූවන්පුනරුත්ථාපනයහමුදාකරණයඉඩම් අහිමියසංහිඳියාව” වැනි උතුරු නැගෙනහිර ජනතාවට අදාල කිසිදු වචනයක් ඔබගේ කතාවෙහි අසන්නට නොතිබුණි.

එවන් සිංහල නැඹුරුවක් සමගින් වන වාර්ගික හා ආගමික සමගිය ගැන ඔබගේ පොරොන්දු සඳහා ඇත්ත පිළිගැනුමක් ලැබෙන්නට නම්මේ කරුණු කාරණා කිහිපය ඔබ පැහැදිලි කළ යුතු යැයි මම කියමි.
අ)  මහනුවර දිගන සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රහාර සහ පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර වලින් පසු මුදා හැරුණු මුස්ලිම් විරෝධය හමුවේ දේශපාලන නායකත්වයක් ලෙස ඒවාට එරෙහිව ශක්තිමත්වවිවෘතව ඔබත් ජනතා විමුක්ති පෙරමුණත් පෙනී නොසිටියේ මන්දැයි පැහැදිලි කළ යුතුය.
ආ) කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ශාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව සිංහල මාධ්‍ය හා සිංහල බෞද්ධ අන්තවාදය මුදා හැරී අසික්කිත චෝදනා මත සංවිධානාත්මකව දියත් කළ ආගම්වාදී විරෝධයන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස හෙළා දැකිය යුතු වූවත් ඒ සම්බන්ධයෙන් ඔබත් ජවිපෙත් කිසිදු වැදගත් දේශපාලන මැදිහත්වීමක් නොකිරීම බරපතල වරදක් යැයි මම කියමි. එය ඉතා අවස්ථාවාදී නිහැඬියාවක් ලෙස දිස් වන්නේවෛද්‍ය ශාෆිට එරෙහිව නැගූ චෝදනා සියල්ල සම්බන්ධයෙන් මේ රටේ උග්‍ර අන්තවාදී සිංහල බෞද්ධ විරෝධයන් හමුවේත් ඉතා ඉහළ වෘත්තීය අගයක් හා ස්වාධීනත්වයක් සමගින් පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන් කිහිප දෙනාට එරෙහිව අභූත චෝදනා නැගෙද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමවාර්ගික හා ආගමික සාමය වෙනුවෙන් පෙනී සිටීන්නට පොරොන්දුවන ඔබ සමග ජවිපෙ අත හැරියේ මන්දැයිද ඔබ පැහැදිලි කළ යුතු යැයි මම අවධාරණය කරමි.  

එම දේශපාලන වගකීම් අත හැරි පසුබිමකඔබ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වාර්ගික හා ආගමික සමගිය ඉතා වැදගත් අවශ්‍යතාවක් ලෙස ඉදිරිපත් කිරීමේ අවංක බවක් ඇතැයි පිළිගැනීමට නම්,
          දෙමළ ජනතාවගේ දීර්ග කාලීන දේශපාලන ඉල්ලීමක් වන සහ මෙතෙක් කිසිදු ආණඩුවක් විසඳීමට සූදානම් නොවුනු “බලය බෙදීම” ගැන ඔබගේත් ජාතික ජන බලවේගයේත් දේශපාලන ස්ථාවරය නිරවුල් ලෙස පැහැදිලි කළ යුතු යැයි මම ඉල්ලමි.
          එළෙසින්ම ඇමතිවරුන්ටත් පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් ලබා දී ඇති නිල සන්නද්ධ හමුදා හා පොලීසියේ ආරක්ෂාව තව දුරටත් අවශ්‍ය වන්නේ මන්දැයිද යන්න හා මහජන නියෝජිතයින් සඳහා එවැනි සන්නද්ධ ආරක්ෂාවක් ඔබගේ ජනාධිපතිත්වය යටතේ ලබා දෙන්නේද යන්නත් පැහැදිලිව කියන මෙන් මම ඉල්ලමි.

04. දූෂණයට එරෙහිව ඔබත් ජවිපෙත් දිගින් දිගටම පෙනී සිටිය බව සියල්ලෝ දනිති. ඔබ හා ජවිපෙ පසුගිය රාජපක්ෂ සමයේ දූෂණ හා මේ යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන විශාල බරක් තබන්නේ දේශපාලනඥයින් හා ඔවුන්ගේ පුද්ගල සම්බන්ධතාවන් වෙතය. එබැවින් මහ පරිමාන දූෂණ ප්‍රධාන වශයෙන් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් ලෙස අවධාරණය වන්නේය. එහෙත් මහ පරිමාන දූෂණ පුද්ගල කේන්ද්‍රීය සාධකයක් නොවමේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආවේනික ලක්ෂණයක් යැයි මම කියමි. සියලු රාජ්‍ය ආයතන සහ සියලු වෘත්තීන් අද අන්ත දූෂිත තත්ත්වයට පත්ව ඇත්තේ එබැවිනි. එවගේම ගම හා නගරය අතර පරතරය සීඝ්‍රයෙන් වර්ධනය වන්නේත් මේ දූෂිත වෙළඳපල ආර්ථිකයෙහි සියලු වත්කම් හා ආදායම් නගරයෙහි එකතුවන බැවිනි. වසර 40 ක් වන මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සියලු ව්‍යසනඔබ ඔබගේ කතාවට ගනු ලැබූයේ “71 ක් වසරක් ගමන් කළ මේ විනාශ කරන ලද ආර්ථික මාවත” යනුවෙනි. නිදහසින් පසු පළමු වසර 30 හි ආර්ථිකය රාජ්‍ය කේන්ද්‍රීය අධිකාරවාදී ක්‍රියාවලියක් ලෙස ජනතාවගේ පුද්ගල හා සමාජ ජීවිතයේ දියුණුවට වැදගත් එකතුවක් නොකළදමෙවැනි දූෂිතසාර ධර්ම පිරිහුණුගම මුලුමනින් අත හැර දැමුණු ආර්ථිකයක් නොවුනි. “තීරණාත්මක ලෙස මේ ආර්ථික ගමන් මගෙන් අප වෙනස් විය යුතුව තිබෙනවා” යැයි ඔබ කියන්නේ යුග දෙකක අප අත් දුටු ආර්ථික ආකෘතීන් දෙකම එකම කෝදුවෙන් මැන ප්‍රතික්ෂේප කිරීමෙනි. එබැවින් මේ විවෘත ආර්ථිකයට විකල්පව ඔබ යෝජනා කරන්නේ කවර ආකාරයේ ආර්ථික ආකෘතියක් දැයි ඔබ හා ජාතික ජන බලවේගය රටට පැහැදිලි කළ යුතු යැයි මම කියමි.

05. ඔබ පොරොන්දුවන සතුට සුවය සෞභාග්‍ය සමග වන “අදූෂිත නව දේශපාලන පොර පිටිය” වෙත පවත්නා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගින් පිය නැගිය නොහැකි යැයි මම විශ්වාස කරමි. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම හා කාර්ය භාරය ඔබත් ජාතික ජන බලවේගයත් බාර ගත යුතු හදිසි සහ ඉක්මන් පියවරකි. එය යෝජනා කිරීමේදී,
අ)  ඔබලා 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරමින් රටටම පොරොන්දු වූ සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරමින් අහෝසි කිරීමට යෝජනා කළ විධායක ජනාධිපති ධූරයට කුමක් කරන්නේදැයි නිශ්චිත වශයෙන් කාල වකවානු සමග ඉදිරිපත් කළ යුතු යැයි මම ඉල්ලා සිටිමි.
ආ) ඔබ හා ජාතික ජන බලවේගය පොරොන්දු වන වාර්ගික ආගමික සමගිය සහ “දේශයේ” එක්සත්කම වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි බුද්ධ ශාසනයට (බුදු දහමට නොවේ) රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේ දෙවන පරිච්ඡේදයෙහි 09 වන අනු ව්‍යවස්ථාව අහෝසි කිරීමට යෝජනා කරන්නේද නැතිද යන්න නිශ්චිත වශයෙන් කිව යුතු යැයි මම කියමි.
ඇ) එවගේම වාර්ගික හා ආගමික සමගිය වෙනුවෙන්ද දෙමළ ජනතාවගේ බලය බෙදීම සඳහා වන දේශපාලන ඉල්ලීම වන සහ සිංහල බෞද්ධ අන්තවාදී විරෝධය මත ඉතා දැඩිව ප්‍රතික්ෂේප කෙරෙන “ඒකීය රාජ්‍ය” වෙනුවට “එක්සත් රටක්” යන සංකල්පය පිළිගන්නේද නොගන්නේද යන්න නොපමාව පැහැදිලි කළ යුතු යැයි මම යෝජනා කරමි.

අතිශය බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමේදී මේ රටේ ජනතාවට වෙනස් වන්නට යැයි ඔබ ඉල්ලා සිටින්නේ ඔබ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් ආරම්භ කළ යුතු අලුත් ගමන වෙනුවෙනි. එහෙත් එය හුදු ආරාධනාවක් මත තීන්දු නොවන්නකි. ඒ සඳහා මේ සමාජයෙහි ඉතා දියුණු කතිකාවක් අවශ්‍ය වන්නේය. එයට අවම තරමින් ඔබගේ පැත්තෙන් ප්‍රධාන කාරණා සම්බන්ධව පැහැදිලි කිරීම් අවශ්‍ය වේ. ඉහත කරුණු සමිබන්ධ පැහැදිලි කිරරීම්කරුණු ඉදිරිපත් කිරීම් හා නිශ්චිත පිළිතුරු මා ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් බැව් සහෝදරත්වයෙන් මෙහි සටහන් කරමි.

එබැවින් කලින් යොමු කළ විද්‍යූත් තැපෑලටත් සමග මෙයට නොපමාව ඔබගෙන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.

ස්තුතියි.
මෙයට සහෝදරත්වයෙන්,

කුසල් පෙරේරා
නිදහස් මාධ්‍යවේදී / දේශපාලන විචාරක

පිටපත් -
1, මහාචාර්ය චන්දන අබේරත්න - සභාපතිජාතික විද්වත් සංවිධානය
2. විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ - ලේකම්ජාතික විද්වත් සංවිධානය     

මෙයට ප්‍රතිචාර දැක්වීමේදී මාගේ විද්‍යුත් තැපෑලට සියලු ප්‍රතිචාර යොමු කළ හැකි බව කරුණාවෙන් සළකන්න.

ඇයද යා යුතුය ගම

ඇයද යා යුතුය ගම අප වැනිම විය යුතුය ඇවිදින් ඇයද නගරයට සොයන්නට බඩ වියත යා හැකිය නොතකා මීටරේ ඉඩ ඇය වැනි තවත් කිහිප දෙනෙකුට පොදි බැඳන් අවිනිශ්චි...