අපගේ වැනි රටවල එය ඉනුත් ඔබ්බට ගොසින් ඇති බැව් කෝවිඞ්-19 පෙන්වා දෙන්නකි. විවෘත වෙළඳපල ආර්ථිකය විසින් විනාශ කෙරුණු නියෝජන ප්රජාතන්ත්රවාදී ආණ්ඩු පාලනයේ අවසන් ඉමට අපි පැමිණ ඇත්තෙමු. අපට ඉතිරිව ඇති එකම විසඳුම, නව සහභාගි ප්රජාතන්ත්රවාදී ආණ්ඩු පාලනය පමණි. “තිත්ත දේශපාලනයට ඇත්ත මිනිසුන්” තෝරා පත් කරන්න යැයි මැතිවරණ සමයේ කෙරුණු ජනප්රිය ඉල්ලීම මම උපහාසාත්මකව කෙටියෙන් අර්ථ දැක්වූයේ “කුණු කන්දක් රතු කොඩි වලින් සරසන්න” යැයි කරන ඉල්ලීමක් වැනි යැයි කීමෙනි. ඒ ඉල්ලීම, කුණු කන්ද ඉවත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් සමග ඉදිරිපත් නොවුනු නිසාවෙනි.
යෝධ දූෂණ නැතිව පැවතිය නොහැකි උපතින්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි “අවංකත්වය” හා “දේශපාලන බලය” අතර ඇත්තේ ඉතා සියුම් බෙදුම් රේඛාවකි. දූෂිත වන්නට ආණ්ඩු පක්ෂයට අයත් වන්නටම අවශ්ය නැත. ඊට දේශපාලන බලය හා ගනුදෙනුවක් හදා ගැනීම ප්රමාණවත් ය. එබැවින් මේ කියන්නාවූ දූෂිත දේශපාලන ක්රමයෙහි අවංකයින් යැයි පුද්ගලයින් තෝරා පත් කිරීමට කොරෝනා වසංගතයේ ආසාදිතයින් සොයන්නාක් මෙන් පරීක්ෂණ සිදුකර සොයා ගත නොහැක. ආණඩු පාලනයට අත ගැසූ පසු අවංක දේශපාලනයක ඔවුන් නතර වන්නේද නැතිද යන්න පසුව හෙළිවන්නකි. එයට කල් තියා සහතික ලිවිය නොහැක.
උගත්කම මත බුද්ධිමතුන් තීන්දු කිරීමත් එවැනිමය. උගතුන් අධ්යාපන සහතික මත තීන්දු වන්නේ නැත. උගතුන් නියත වශයෙන් අවංකයින් වන්නේද නැත. ජයවර්ධන ජනාධිපතිද උගතෙකි. ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට හැම ඇමති මණ්ඩලයකම හැම පාර්ලිමේන්තුවකම උගතුන් ගේ අඩුවක් නොවුනි. ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඔක්ස්ෆඞ් උපාධිධාරීන්, අපේ විශ්ව විද්යාලවල උපාධිධාරීන්, බැරිස්ටර්වරුන්, ජනාධිපති නීතිඥයින්, වෛද්ය වෘත්තිකයින්, මූල්ය කලමනාකරුවන්, මාධ්යවේදීන් ඕනෑ තරම් සිටියහ. පසුගිය පාර්ලිමේන්තුවේද එවැන්නන්ගේ අඩුවක් නොවුනි. එහෙත් හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට වඩා දූෂිත විය. අකාර්යක්ෂම විය.
එනිසා තෝරා පත් කෙරුණු පාර්ලිමේන්තුවේ “ඇත්ත” මිනිසුන් සිටියත් දේශපාලනය “තිත්ත” දේශාපාලනයක්ම පමණක් වනු ඇත. “අලුත්” පාර්ලිමේන්තුවත් අලුත් මුහුණු සමග “පරණ” කසිකබල් දූෂිත දේශපාලනයේම ලගිනු ඇත. පාර්ලිමේන්තුවේ කෙතරම් දක්ෂ අලුත් කතිකයින් සිටියත් රටේ ආණ්ඩු පාලනය තීන්දු වන්නේ 19 වන ව්යවස්ථා සංශෝධනය සමග නොවේ. 19 වන ව්යවස්ථා සංශෝධනය ප්රතික්ෂේප වූයේ “ස්වාධීන” කොමිසම් වැදගැම්මකට නැති කොමිසම් යැයි ඔප්පු වන්නටත් කලියෙනි. සමාජය විසින් 19 ය ප්රතික්ෂේප කෙරුවේ පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයටත් බොහෝ කලින් ය. 19 යෙන් ජනාධිපති ධූරය විධායක බලයක් නොමැති “උත්සවාකාර” ධූරයක් බවට පත් කර ඇතැයි නාගරික මැදපංතිකයින් තර්ක කළද, බහුතර සිංහල-බෞද්ධ ජනතාවට එය අදාල නොවුනි. ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂටත් වඩා බලසම්පන්න ජනාධිපතිවරයෙකි.
පසුගිය නොවැම්බරයේදී ඔවුන් ගෝඨාභය ජනාධිපති ලෙස තෝරා පත්කර ගත්තේ ඒ වෙනුවෙනි. ගෝඨාභය රාජපක්ෂට දෙනු ලැබූ ඡන්ද මිලියන 6.9 ය මුලුමනින්ම 19 ය උල්ලංඝණය කිරීමේ ඡන්දයකි. එපමණක්ම නොවේ. සජිත් ප්රේමදාස සමග අනෙක් ජනාධිපති අපේක්ෂකයින් ඡන්දය ඉල්ලා සිටියේද රටට වැඩක් කළ හැකි ජනාධිපතිවරයෙකු පත් කිරීම වෙනුවෙනි. එහිද “උත්සවාකාර ජනාධිපති” ධූරයක් ගැන කතාවක් නොවුනි. එබැවින් පසුගිය ජනාධිපතිවරණයේදී අවම තරමින් සියයට 94 ක් (ගෝඨාභය සියයට 52.25 යි. සජිත් සියයට 41.99 යි) ඡන්දය දෙනු ලැබූයේ 19 යේ සඳහන් උත්සවාකාර ජනාධිපතිවරයෙකුට නොව, ඊට ප්රතිවිරුද්ධ බලසම්පන්න ජනාධිපතිවරයෙකු සඳහාය. කෙටියෙන් කියන්නේ නම්, මේ රටේ මිනිසුන් කොළඹ මැදපංතිකයින්ගේ 19 වන ව්යවස්ථා සංශෝධනය සහමුලින් ප්රතික්ෂේපකර අවසන්ය. එනිසා ආණ්ඩු පාලනය තීන්දු වන්නේද එළෙසින්ම මිස පාර්ලිමේන්තුවේ “ඇත්ත” මිනිසුන්ගේ හවුලකින් නොවේ.
එයට ඉතා වැදගත් හේතු දෙකක් ඇත. පළමුවැන්න, මන්ත්රීවරුන් තමන්ගේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්දදායකයින් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් කරන්නේ නැත. ඔවුන් දේශපාලනය වෙනුවට ඡන්දදායකයා සමග තබා ගන්නේ පුද්ගලවාදී සම්බන්ධයකි. එය මළ ගෙවල් මගුල් ගෙවල් වල සිට පත්වීම්, ස්ථාන මාරුවීම්, උසස්වීම්, නීතියට අත ගසා හිතවතුන් නිදහස් කර ගැනීම, විවිධ බලපත්ර නිකුත් කිරීම වැනි අනවශ්ය සහ දූෂිත කාර්යන් හරහා නඩත්තු කෙරෙන්නකි. දෙවැන්න, ඒ පසුබිමෙහි ඡන්දදායකයා හුරු වී ඇති අදේශපාලනික පැවැත්මය. මේ රටේ දේශපාලන ක්රියාකාරිත්වයක් සඳහා ජනතාව අවදි වූයේ මැතිවරණයක් සඳහා වන ගෝසා සමගින් පමණි. මැතිවරණ දෙකක් අතර කාලයේ ජනතාව සමාජීය දේශපාලන සංවාද අත හැර, ණය ගෙවීමට, තව ණය වීමට විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හතිලමින් තම කාලය ගත කරති. මෙවර මැතිවරණයද ඊට වෙනස් නැත. මෙවරද මැතිවරණය තීන්දු කෙරෙන්නේ පෞද්ගලික අවලාද, මඩ ගැසීම්, ජාතිවාදී ප්රකාශ සහ විසඳුම් නැති මහ පරිමාන දූෂණ ගැන කෙරෙන කතා සමගින් පමණි.
කෝවිඞ්-19 ගෝලීය වසංගතය සමග ඉතා සීඝ්රයෙන් මේ සමාජය වෙලා ගන්නා සමාජ ආර්ථික අර්බූද වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විසඳුම් වෙත කිසිදු අවධානයක් එහි නැත. මේ මැතිවරණ ව්යාපාරය අවසන් කෙරුණේද සිල්ලර, සුපුරුදු දේශපාලනයෙනි. මැතිවරණ සමයේ නොයෙකුත් ආකාරයෙන් සමාජ මාධ්ය ජාලයන්හි “ආතල්” ගත් පිරිස්ද මැතිවරණයෙන් පසු වෙනත් සිල්ලර කතාවල නතර වනු ඇත. නාගරික මැදපංතිකයින් තටු ගැලවෙන ඔවුන්ගේ අපේක්ෂාවන් සමග මැසිවිලි නගමින් ඊළග මැතිවරණය තෙක් කල් මරණු ඇත.
මෙවර මැතිවරණයෙන් පසු ඉතිරි වන්නේ අතිශය අවිනිශ්චිත කාලයකි. එය දේශපාලන නායකයින්ට පමණක් නොව, ඔවුන් වටා රොක්වූ පණ්ඩිතමානි උගතුන්ටද තේරුම් නොතිබුණි. පසුගිය අවුරුදු 15 ට ආසන්න කාලයක රාජපක්ෂ පාලනයත් සිරිසේන-වික්රමසිංහ දෙපළගේ යහපාලනයත් ගොඩ ගසා ඇති සමස්ථ ණය කන්දරාව රුපියල් බිලියන 2,000 කි. ඒ වෙනුවෙන් ගෙවීම් සඳහා වසරකට ඩොලර බිලියන 05 ක් පමණ අවශ්ය වන්නේ යැයි සඳහන් වේ.
එවැනි යෝධ ණය කන්දරාවක් කර ගැසූ අර්බූදයක සිටියදී කෝවිඞ්-19 සමග ගෝලීය වෙළඳපල බිඳ දැමූ, සැපයුම් ජාල අවුල්කර දැමූ සමාජ ආර්ථික අර්බූදයට අපද බරපතල ලෙස හසුව ඇත. කෝවිඞ්-19 වසංගතය ගෝලීය තර්ජනයක් යැයි ලෝක සෞඛ්ය සංවිධානය පිළිගැනීමත් සමග ලොව දියුණු ආර්ථික නියෝජනය කරන්නාවූ රටවල් 36 ක් ඉන්නා “ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහාවන සංවිධානය” (OECD) පසුගිය මාර්තු 02 වන දින කියූවේ ගෝලීය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 2.9 ක් යැයි කලින් ගණන් බලා තිබුණද එය කෝවිඞ්-19 හේතුවෙන් සියයට 1.5 ට පහත වැටිය හැකි බවය. එය මීට දසකයකට ඉහතින් ගෝලීය ආර්ථිකය හසුවූ බිඳ වැටීමට වඩා දරුණු බිඳ වැටීමකට හේතුවන බව ඔවුහු කීහ. ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ප්රධානී රොබෙර්තෝ අසෙවේදෝ කෝවිඞ්-19 න් පසු ඉදිරිය ගැන කියුවේ, “ගෝලීය ආර්ථිකයට ඇති විය හැකි බලෑමත් බරපතල් විය හැක. එය ඉදිරි සති වලදී වෙළඳපල දත්ත වලින් බලා ගත හැකිවනු ඇත” යනුවෙනි.
ඊට තෙමසකට පසු මෙරට ඇඟළුම් නිෂ්පාදකයින්ගේ ඒකාබද්ධ සංධානයේ (JAAF) සභාපති ආරුමුගපිල්ලේ සුකුමාරන් පසුගිය ජුනි 18 වන දින ඉංග්රීසි පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණේ “සියලු සාධක ගත්විට, ගෝලීය ඇඟළුම් වෙළඳපල කෝවිඞ්-19 න් පසු පෙර පැවතියාට වඩා කුඩා වනු ඇත. එය අප සැවොම පිළිගත යුතු යතාර්ථය වන්නේය. ඒ අභියෝගයට අප මුහුණ දිය යුතුය” යනුවෙනි. එම සාකච්ඡාවෙහිදී ඔහු අවධාරණය කර තිබූයේ ගෝලීය ඇඟළුම් වෙළඳපල හැකිලීම හේතුවෙන් මෙරට රැකියා 80,000 ක් 100,000 ක් පමණ අහිමි විය හැකි බවය.
පෞද්ගලික හා අර්ධ රාජ්ය අංශයේ සේවක සුභසාධනය හා සේවක අයිතීන් වෙනුවෙන් වගකිව යුතු කම්කරු දෙපාර්තමේන්තුව ඉකුත් මැයි මාසයේ “කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් ශ්රී ලාංකීය ශ්රම බලකායට ඇති කරන්නාවූ බලපැම” පිළිබඳව විද්යුත් සමීක්ෂණයක් කර ඇත. කිසිදු ප්රසිද්ධියක් නොදුන් එම සමීක්ෂණ වාර්තාවෙන් කියන්නේ විධිමත් පෞද්ගලික අංශයේ තත්ත්වය මෙලෙසින් පැවතුනහොත් ඉදිරි කෙටි කාලයේ රැකියා 300,000 ක් හෝ ඇතැම් විට ඊටත් වැඩි සංඛ්යාවක් අහෝසිවන බවය. එනිසා ශ්රී ලංකාවේ විරැකියාව සැළකිය යුතු අන්දමින් ඉහළ යන බවත් එහි සඳහන්ය. (http://www.labourdept.gov.lk/images/PDF_upload/notices/survey%20report%202020.pdf)
අපනයන නිෂ්පාදනය හා ඉන් ලැබෙන ආදායම කඩා වැටීමට අමතරව, සංක්රමණික ශ්රමිකයින් උපයා දුන් විදේශ විනිමයෙන් සැළකිය යුතු ප්රතිශතයක් අහිමිවීමත් අපේ ආර්ථිකයට ඔරොත්තු නොදෙනු ඇත. ප්රතිපත්ති අධ්යන ආයතනයට අනුව 2019 දී සංක්රමණික ශ්රමිකයින්ගෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර මිලියන 6,700 කි. එය අපගේ ආනයන අපනයන වෙළඳ ශේෂයෙන් සියයට 84 ක් පියවීමට ප්රමාණවත් විය. කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයට අනුව, “දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 08 ක් 09 ක් පමණ වූ සංක්රමණික ශ්රමිකයින් උපයා දුන් විදේශ විනිමය විශාල වශයෙන් අඩු වන්නේය. සංක්රමණික ශ්රමිකයින්ගෙන් සැළකිය යුතු සංඛ්යාවක් ඒ රටවල තිබූ ඉල්ලුම අඩුවීමත් සමග නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.”
එහි අනෙක් තේරුම වන්නේ, ඉදිරියේදී සංක්රමණික ශ්රමිකයින් ලෙස රටින් පිටවීමට බලාපොරොත්තු වූ පිරිසට ඒ රැකියාවල් අහිමි වන බවය. විදේශ සේවා කාර්යාංශය හරහා වසරකට 70,000 ක් 80,000 ක් පමණ විදේශගතවන ගෘහ සේවිකාවන්ට එසේ යාමට ඇති අවකාශය බරපතල ලෙස ඇහිරෙනු ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයට අනුව, පසුගිය පාස්කු ප්රහාරයෙන් අර්බූදයට ගොස් තිබූ සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට නොහැකිය. එය තව දුරටත් සනාථ වන්නේ ගුවන් ගමන් බරපතල ලෙස සීමාවී තිබෙන බැවින්ය. ලොව පුරා හැම රටක්ම විදේශ ගමන් බිමන් සීමාකර ඇති පසුබිමක ගුවන් ගමන් නුදුරු දිනෙක යථා තත්ත්වයට පත්වීමේ කිසිදු ඉඩක් නැත.
මෙය හුදෙක් ආර්ථිකයට සීමාවන අර්බූදයක් නොවන්නකි. එහි බරපතල සමාජීය බලපෑමක් ඇත. රැකියා අහිමිවන දහස් ගණන් නැවත ඔවුන්ගේ ගම් ප්රදේශ වලට ගාල් වනු ඇත. නැවත පැමිණෙන සංක්රමණික ශ්රමිකයින් නතර වන්නේද ඒ ගම් ප්රදේශ වලම ය. සංක්රමණික රැකියා සඳහා යාමට සූදානම් වූ දහස් ගණනද කොටු වන්නේ ඒ ගම් ප්රදේශ වලම ය. අවිධිමත් ආර්ථිකය හැකිලීමේ බර දැරිය යුතු වන්නේද මේ දුප්පත් ග්රාමීය සමාජයම ය. ඒ ග්රාමීය ප්රදේශ අවුරුදු 40 ක් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පලදායි ආර්ථිකයක් නොමැතිව අතහැර දමා තිබූ ප්රදේශ ය. එනිසා ග්රාමීය සමාජයට මේ බර කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත.
එවැනි අර්බූදයක ආර්ථික හා පාරිසරික ඉල්ලීම් මත තැන තැන උද්ඝෝෂණ තිබිය හැක. ඒවායේ “ඇත්ත” මිනිසුන්ද සිටිය හැක. ඔවුන් මාධ්ය සඳහා ප්රකාශද කරනු ඇත. ඒ අතර, මර්දනය වඩ වඩාත් දැඩි විය හැක. එසේ වන්නේද “ජනතාව” වෙනුවෙනි. ජනතාව ලබා දුන් වරම මත, රට ගොඩ නැගීමට, සංවර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි යැයි කියනු ඇත. එය එසේ පිළිගන්නා සිංහල-බෞද්ධ බහුතරයක්ද සිටිනු ඇත. ආණ්ඩුව කියන දේ එළෙසින් පිළිගැනෙන්නේ විකල්ප නොමැති සමාජයන්හි පමණය.
උපතින්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය පිරිසිදු කිරීමට දෙන පොරොන්දු මතින් මේ කිසිවකට විසඳුම් ලබා දිය නොහැක. මේ සියල්ලට විසඳුම් සෙවිය හැක්කේ ජාතික රාජ්ය කාර්යක්ෂම, ශක්තිමත් ප්රජාතන්ත්රීය රාජ්යයක් බවට පත් කිරීම සඳහාත් දේශගුණික විපරියාස වලින් වැළකීමට පරිසරය සුරක්ෂාකර ගැනීම සඳහාත් දිගින් දිගටම ඉහළ යන වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතාව සමාජ සාධාරණත්වය සඳහා තුනී කිරීම සඳහාත් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් බැහැර විකල්ප ජාතික සංවර්ධන වැඩපිළිවෙලකින් පමණය. ඒ සඳහා ඊළඟ මැතිවරණය එන තෙක් මේ සමාජයට බලා සිටිය නොහැක. එය මැතිවරණයෙන් පසු වහා ආරම්භ කළ යුතු සමාජ කතිකාවක් විය යුතුය. මේ සමාජය වෙළා ගෙන ඇති ආත්මාර්ථය, දූෂණය, අශීලාචාරය, අපරාධ සියල්ලට උත්තර සෙවිය හැක්කේත් ශිෂ්ට සම්පන්න අනාගතයකට පය තැබිය හැක්කේත් එවැනි ජාතික සංවර්ධන සැළැස්මක් ජන සහභාගිත්වයක් ඇතිව ක්රියාත්මක කෙරෙන ප්රජාතන්ත්රවාදී සමාජයක් සමගින් පමණි. ඉන් මෙපිට කෙටි මාවත් නැති බවත් අවධාරණය කළ යුතුය. බාර ගන්නේ නම්, මැතිවරණයෙන් පසු ඉතිරිවන මාවත එය ය.
කුසල් පෙරේරා
2020 අගෝස්තු 03 වන දින

No comments:
Post a Comment