▼

Wednesday, October 14, 2026

ප්‍රාදේශීය, නගර, මහ නගර සභා සඳහා තරුණ මහළු අපි ඡන්දය දෙන්නේ ඇයි?

කොළඹ ඇළ කානු පිරිසිදු කරන්න
අගමැතිනියගෙන් සති දෙකක කාලයක්
මේ දිනවල දේශගුණය ගැන අනාවැකි කීම පහසු නැත. පැය කිහිපයක් ඇතුළත ලොකු වෙනස්කම් ඇතිවන දේශගුණයෙහි නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල නිතර ඇසෙන පැමිණිල්ලක් වන්නේ, ගෙවල් දොරවල්, පාරවල් යට වීමය. මගී ප්‍රවාහනය, ත්‍රීරෝද රථ ගමන් අඩාල වීමෙන් අනිවාර්ය ගමන් බිමන් ඇණ හිටීමය. ඒවාට චෝදනා ලබන්නේ ආණ්ඩුව ය. ආණ්ඩුවට චෝදනා කරන පුද්ගලයින් විසදුම් සොයන්නේ පෞද්ගලිකව තමන්ගේ තාප්ප සීමාවෙහි ය. “මං කාණුව වහලා දැම්මා” යැයි කියන අය සිටිති. එවිට අසල්වැසියන් යට වෙන්නේ යැයි කී විට, “ඒක ඒගොල්ලො බලා ගන්න ඕනෙ.... මට යට වෙන්න බැහැ” යැයි අනිවාර්ය උත්තරය වන්නේය. මේ සමාජය දසක ගණනාවක් පුරා ආත්මාර්ථකාමී, පුද්ගලවාදී සමාජයක් බවට පත්ව තිබෙන බව දෛනික ජීවිතයෙහි අත්විදින්නට තිබෙන්නකි. ඒ ආත්මාර්ථකාමයෙහි කෲරත්වය දකින්නට හැක්කේ මෙවන් ආපදා හමුවේ ය.

මේ ආරවුලෙහි පළාත් පාලන ආයතන සතු වගකීම කුමක්ද? පළාත් පාලන ආයතන ගැන කිසිදු විශ්වාසයක් නොමැති බැව් ආත්මාර්ථකාමයෙහි පොදු නිගමනය වන්නේය. ඔවුන්ම ඡන්දය දුන් ඔවුන්ම පත්කර ගත් පළාත් පාලන ආයතනය ගැන කියන්නේ “වැඩක් නෑ ..... මන්ත්‍රියාවත් එන්නෙ නෑ බලන්න” යැයි කියා ය. පළාත් පාලන ආයතන ප්‍රතික්ෂේප වී ඇත. 

දැනට ඇති පළාත් පාලන ආයතන ඡන්දයෙන් තෝරා පත්කර මාස 16 ට වැඩි ය. ඒවා පත් කිරීමට ඒවාට ඡන්දය දුන් ප්‍රජාවට ඒවායින් වැදගත් යමක් සිදුව නොමැති බව ජල ගැලීම්, ගෙවල් පාරවල් යටවීම කියන්නකි. ඡන්දදායකයින්ට වඩාත්ම ආසන්න බිම් මට්ටමේ “ජනතා නියෝජිතයින්” යැයි න්‍යායිකව අර්ථ ගන්වන්නේ ප්‍රාදේශීය සභා, නගර හා මහ නගර සභාවලට තෝරා පත් කෙරෙන මන්ත්‍රීවරුන් ය. තම බල ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ප්‍රාදේශීය සේවා ගණනාවක් වැඩි දියුණුකර පවත්වා ගැනීමේ වගකීම බාර ගන්නා ජනතා නියෝජිතයින් ඔවුන් වන්නාහ. 

කොළඹ මහ ආණ්ඩුව පාර්ලිමේන්තුවකින් පත් කිරීමට බොහෝ කාලයකට පෙර රජ කාලයේ සිට පැවති “වරිග සභා” සහ ඊට මඳක් වැඩි බලයක් පැවති “ගම් සභා” අද ඡන්දයෙන් තෝරා පත් කෙරෙන පළාත් පාලන ආයතනවල මූලාරම්භය වන්නේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ 1818 දී මේ සියල්ල අහෝසි කළහ. එහෙත් කෝල්බෲක්-කැමරන් කමිටුව 1833 දී පැමිණ කළ නිර්දේශ මත, 1856 අංක 09 දරණ “කුඹුරු හා වාරිමාර්ග ආඥා පනත” සම්මත කිරීමෙන් කෘෂිකර්මය හා වාරිමාර්ග කටයුතු කලමනාකරණයට සහාය වීම පිණිස නැවත “ගම් සභා” පිහිටුවනු ලැබිණ. 

පළාත් හා ප්‍රාදේශීය පාලනය වර්ධනය වූයේ 1861 අංක 10 දරණ ආඥා පනත මගින් පළාත් මාර්ග සංවර්ධනය වෙනුවෙන් "පළාත් මාර්ග කමිටු" සහ "දිස්ත්‍රික් මාර්ග කමිටු" පිහිටුවීම ඔස්සේය. යටත් විජිත පාලකයින් විසින් සහ ප්‍රභූ ඡන්දයෙන් පත් කෙරුණු සභිකයින් සමග වූවත් 1865 අංක 17 දරණ මහ නගර සභා ආඥා පනත මගින් පළමුව කොළඹ හා අනතුරුව මහනුවර මහ නගර සභා පිහිටු වීමෙන් පළාත් පාලනය තව මඳක් පුළුල් කෙරුණි. 

ප්‍රාදේශීය පරිපාලනය සඳහා “ග්‍රාමීය කමිටු” සහ ප්‍රාදේශීය අධිකරණ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය උසාවි පිහිටුවනු ලැබුවේ 1871 අංක 26 දරණ ග්‍රාමීය ප්‍රජා ආඥා පනත මගින් ය. ප්‍රාදේශීය ජනයාගේ ඉල්ලීම් අනුව “ග්‍රාමීය කමිටු” පිහිටුවීමේ බලය ආණ්ඩුකාරවරයාට හා ව්‍යවස්ථා මණ්ඩලයට දෙනු ලැබිණ. අනතුරුව 1920 අංක 11 දරණ පළාත් පාලන ආඥා පනත මගින් දිස්ත්‍රික් නාගරික මණ්ඩල, දිස්ත්‍රික් ග්‍රාමීය මණ්ඩල සහ පොදු මණ්ඩල යැයි පළාත් පාලන ආයතන වර්ග 03 ක් පිහිටුවනු ලැබිණ. ඒ වන විට “ග්‍රාමීය කමිටු” ඉතා සතුටුදායක කාර්ය සාධනයක් පෙන් වූයෙන් “ග්‍රාමීය කමිටු” ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ප්‍රතිසංස්කරණ ගණනාවක් 1938 දී ක්‍රියාත්මක කෙරුණි. ඩොනොමො කමිටුව විසින් 1931 දී සර්වජන ඡන්දය ලබා දී තිබූ හෙයින්, සියලු සභිකයින් ජනතා ඡන්දයෙන් පත් කෙරුණි. ග්‍රාමීය කමිටු බල ප්‍රදේශය කුඩා කොට්ඨාශ වලට බෙදනු ලැබිණ. වැඩවසම් සමාජයෙහි වූ ග්‍රාමීය ප්‍රභූ නායකයින් සභිකයින් ලෙස පත්වීම අත්හිටවනු ලැබිණ. ඒ සමග ග්‍රාමීය කමිටු වලට බිම් කුලී අය කිරීමේ බලයත් ප්‍රජා සෞඛ්‍ය සේවාවට අමතරව පාරවල්, ජල පහසුව සහ ප්‍රදේශයේ පොදු පහසුකම් සැපයීමේ වගකීමත් බාර දෙනු ලැබිණ. අනෙක් එකතුව වූයේ 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත මගින් නගර සභා පිහිටු වීමය. 

එළෙසින් අවුරුදු 90 ට වැඩි කාලයක් විකාශනය වූ පළාත් පාලන පද්ධතිය අප 1948 නිදහස ලබන විට කොළඹ, මහනුවර සහ ගාල්ල සඳහාවූ මහ නගර සභා 03 ට අමතරව, නගර සභා, සුළු නගර සභා (ටවුන් කවුන්සිල) සහ ගම් සභා ලෙස ස්ථාපිතව තිබිණ. එතැන් සිට 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කෙරුණු නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 ට ආසන්න කාලයේ සිදුවූ පරිවර්තන හා සංශෝධන සහිත කාන්තා සහ තරුණ නියෝජනය සඳහාවන සළාකද ඇති අනුපාත ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන මහ නගර සභා 29 ක්ද නගර සභා 37 ක්ද ප්‍රාදේශීය සභා 276 ක්ද වර්තමානයේ ඇත.

මෙම පළාත් පාලන ආයතන හඳුනාගත යුත්තේ අපගේ ආයතනික බල ව්‍යුහ 03 කින් යුත් ආණ්ඩු පාලනයෙහි පාර්ලිමේන්තුව යටතේ බලය විමධ්‍යගත කෙරුණු පළාත් සභා වලට පහළින් පිහිටුවා ඇති ප්‍රාදේශීය පරිපාලන ආයතන ලෙසින්ය. ඒවායෙහි බලය ආයතනගත කිරීම මූලික වශයෙන් 1947 අංක 29 දරණ මහ නගර සභා ආඥා පනතත් 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනතත් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතත් ඇසුරෙන් සිදුකර ඇත. පළාත් පාලන ආයතන මගින් අපේක්ෂා කරන්නේ “ප්‍රජාවගේ සුව සෙත, සුව පහසුව සහ යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමය”. නීතිමය අවසරයක් ඇති සේවා පමණක් ඒ සඳහා භාවිත කළ හැක. එවැනි සේවා සැපයුම් වන්නේ මාර්ග, කාණු පද්ධති, උද්‍යාන, පුස්තකාල, නිවාස, කසළ ඉවත් කිරීම, පොදු පහසුකම් සහ විනෝදාංශ වේ (පළාත් පාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විමර්ශන කොමිසම් සභාවෙහි වාර්තාව - 1999 / 02 වන පරිච්ඡේදය - පළාත් පාලන පද්ධතිය ඃ බලය හා කාර්යන්). 90 දසකය ආරම්භයේ සිට ගෝලීය වශයෙන් ලොකු අවධානයක් දෙනු ලබන හා අවධාරණයක් කෙරෙන පරිසරය සුරැකීමට, ඒ සියල්ල යටත් වන්නේය. 

මෙතැනින් මතුවන බරපතලම ප්‍රශ්නය වන්නේ, නිදහසින් පසු අවුරුදු 78 ක් පරම්පරා 04 ක් පසුකර පැමිණි පසු වඩාත් දියුණු යැයි පාරම් බාන වත්මන් පරම්පරා මේ පළාත් සභා වෙතින් ලබා ගන්නා ප්‍රාදේශීය දියුණුව, යහපත කුමක්ද යන්න ය. 1977 න් පසු දළ වශයෙන් පළාත් පාලන මැතිවරණ 16 ක් හෝ 17 ක් ඉකුත් 2025 මැතිවරණය වන විට මේ රටේ පවත්වා ඇත. වර්තමානයේද ඒ ගෙවුනු අවුරුදු 48 තුල විශේෂ කිසිවක් සිදුව නැත. කෙරෙන්නන් වාලේ කෙරෙන දෙයක් සමගින් හෙට දවසට පය තබනවා හැර පළාත් පාලන ආයතනවල කිසිත් සිදුවන්නේ නැත.

පවතින ආත්මාර්ථකාමී සමාජයේ වැදගත් දියුණුවක් ඇති වන්නටද නොහැක. වර්තමානයේ අලුත් පරපුරද ඡන්දය දෙන්නේ එවැනි දියුණුවක් ගැන අවබෝධයක් ඇතිව නොවේ. පක්ෂ සහ අපේක්ෂකයින් ඡන්දය ඉල්ලන්නේද එවැනි දියුණුවක් වෙනුවෙන් සැළසුම් ඇතිව නොවේ. පළාත් පාලන ආයතන ඇත්තේ මොනවාටදැයි අපේක්ෂකයින් දන්නේද නැත. තරුණ පරම්පරාවේ ඡන්දදායකයා දන්නේද නැත. ඡන්දය දීමට ප්‍රදේශයේ සංවර්ධන සැළසුම කොහේදැයි අසන ඡන්දදායකයින් ඇත්තේ නැත. අපේ ප්‍රාදේශීය සංවර්ධන සැළසුමට ඡන්දය දෙන්නට යැයි ඉල්ලා සිටින පක්ෂ හා අපේක්ෂකයින් ඇත්තේද නැත.

අපේක්ෂකයින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල සහ රැස්වීම්වල වැඩිමනත් වඩා හයියෙන් කතා කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවල කෙරෙන කතා ය. ඒවායේ පොරොන්දු වන ජාතික තලයේ කාරණාම ය. “ගමට/ප්‍රදේශයට කරනවා” යැයි කියා පත්‍රිකාවල සටහන් කරන්නේ පුරුද්දට මෙන් කියන, “පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම, දහම් පාසල් ළමුන්ට නොමිලේ පාසල් උපකරණ ලබා දීම, රජයේ බෙහෙත් ශාලාවේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, දේහය තැන්පත්කර තැබීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා සහන මිලට අවමංගල්‍ය සේවාවක් ආරම්භ කිරීම” වැනි යෝජනා ය. ඒවා ප්‍රදේශයේ බහුතරයකගේ ප්‍රමුඛතා සමග ගැලපේදැයි විමසුමක් නැත. තරග වදින දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ට මග හැරිය නොහැකි ලෙස ප්‍රදේශයේ අවශ්‍යතා සම්බන්ධ කතිකාවක් වරිපනම් බදු ගෙවන ඡන්දදායකයින්ගෙන් කෙරෙන්නේද නැත.  

නිදහසින් පසු පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන පත්කර ගැනීමට පරම්පරා 04 ක් අවුරුදු 75 ට වැඩි කාලයක් ඡන්දය භාවිත කිරීමෙන් පසුවද තමන් ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි වැඩිහිටියන් සේම තරුණයින්ද තවම ඉගෙන ගෙන නැත. එය නෑකමට, කුලයට, ජාතියට, ආගමට, පෞද්ගලික වාසියට “කතිරය” ගසන්නට දුන් බලයක් වගකීමක් නොවන බැව් තේරුම් ගත යුතුව ඇත. ඡන්දය භාවිත කිරීම ගැන ඇති මේ නොදන්නාකම, අනවබෝධය හා නොසැළකිල්ල ගමට නගරයට යැයි වෙනසක් නැත. උගත්කමට, අධ්‍යාපන සහතිකයට අනුව වෙනසක් ඇත්තේද නැත. ඒ කාරණාවේදී සියල්ලන් නූගත් ය. ආත්මාර්ථකාමීය. එනිසා ජනතා නියෝජන ආයතන ලෙස අප නඩත්තු කරන පළාත් පාලන ආයතන සඳහා වාර්ෂිකව වැය කරන රුපියල් කෝටි ගණනක මහජන මුදල අපතේ යන්නේද නැද්ද යන්න වත් නොසළකන සමාජයක අප පුරවැසියන්දැයි අපි අපෙන්ම ඇසිය යුතු වෙමු. මගේ ලජ්ජා සහගත උත්තරය නම් “නැත” යන්න ය. අපි  ආත්මාර්ථකාමී තණිකඩයින් වෙමු.

කුසල් පෙරේරා

2026 ඔක්තෝම්බර 13 න දින

No comments:

Post a Comment