▼

Friday, November 20, 2026

රටම වල් වැදුණු වරද කොතැනද?

එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.....
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැණිනේ....
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැඳ වැටිලා....
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා....

රටම වල් වැදී ඇති බැව් සැබෑ ය. ආර්ථික අර්බුද ගැන, ආර්ථික බිඳ වැටීම් ගැන මහා හඬින් හැම තැනම කතා කරනවා ඇසෙන්නේය. නමුත් කප්පම් ගැනීම්, කොන්තරාත් මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන, ළමා ලිංගික අතවර හා අපචාර, අන්තරායකර මත්ද්‍රව්‍ය අලෙවිය වැනි සමාජ පිරිහීම් ගැන ආර්ථික අර්බුදය ගැන මෙන් කතා අසන්නට නැත.
 
සමාජ පිරිහීම් ගැන කතා කරන්නට පටන් ගැණුනේ මාසයකට හමාරකට පෙර ගලගොඩඅත්තේ ඥාණසාර හිමි උසාවියට ඉදිරිපත් කළ ආකාරය සමග, බෞද්ධාගමට කෙරුණු නිගාවක් ලෙස ය. බෞද්ධාගමට නිගා කිරීම ඥාණසාර හිමි උසාවියට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ උපැවිදි කර ඉදිරිපත් කෙරුවේ යැයි යන කාරණාවට ලඝු කරනු ලැබුණි. අනතුරුව අනුරාධපුර රුවන්මැලි සෑය අභියස සංඝ විරෝධයකට මැරයන් කඩා වැදී විසුරුවා හැරීමෙන් සමාජ පිරිහීම් ගැන කතා සංඝ විරෝධතා ගැන කතාවට පෙරළුනි.
 
මෙය ලියන්නට හේතු වූයේ ඒ විරෝධතා සාධාරණද නැද්ද යන්නවත් ඊට එරෙහි මැර ප්‍රහාර වලට ආණ්ඩුවේ සම්බන්ධයක් තියේද නැද්ද යන්නවත් සාකච්ඡා කිරීමට නොවේ. මෙය ලියන්නට හේතු වූයේ ඊයේ පෙරේදා යූටියුබ් නාලිකාවක ඒ ගැටුම් සම්බන්ධව කෙරුණු අති පණ්ඩිත ප්‍රකාශයක් ගැන යමක් කිව යුතු යැයි සිතූයෙනි. ඒ ගැන අදහස් දැක්වූ මාධ්‍යවේදියෙකු වන එම පුද්ගලයාට අනුව, “ආගමික ආයතනවල පිරිහීම, අනිවාර්යෙන් මේ සමාජ පිරිහීමට හේතු වන්නේය”. ඔහුගේ අර්ථ දැක්වීම වූයේ සංඝ සමාජයේ දූෂණ පිරිහීම් ගිහි සමාජයේ පිරිහීමට හේතු වූ බවය.
 
හැම ආගමකම, ඒවාට අදාල පැවිදි සමාජ හැදෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආගම පවත්වා ගෙන යාම සඳහා පවතින ගිහි සමාජයෙහි ආගමික දිගුවක් ලෙස ය. ගිහි සමාජයෙහි උපත ලබන්නාවූ පූජක පිරිස් සමාජයට එකතු වනවා මිස, පැවිදි සමාජයෙන් පුද්ගලයින් ගිහි සමාජයට එකතු වනවා නොවේ.
 
ඒ ගැන විස්තර සමූහයක් ලියන්නේ මන්දැයි සිතූයේ, සංඝ සමාජයේ සීමා තහංචි සමග සංඝ මානසිකත්වය හැඩවන ආකාරය, සනත් නන්දසිරි ඔහුගේ හැඟීම් බර කට හඬින් ප්‍රියානන්ද විජේසුන්දර ලියා දුන් “බෝ මළුවේ මල් සුවඳක පැටලී....” ගීතයෙන් ගායනා කරන නිසාවෙනි.
 
අප දන්නා කාලයේ සිට, තරුණ වයසට පැමිණි පසු තමන්ගේ ස්වාධීන තීරණයක් අනුව ගිහි ජීවිතය අත හැර පැවිදි වන්නන් අල්පයකටත් අඩුය. අති බහුතරය, ප්‍රියානන්ද ලියා ඇති අයුරින්ම, සිවුරක් දරා සිටියද අම්මාගෙන් කිරි බිවු මතකය, ගේ දොර උණුහුම, කෙලි ලොල් සෙල්ලම් කාලය මතක් වන විට, නැවත ගෙදර යාමට සිතෙන අවුරුදු 05 - 06 ක කුඩා වයසේ දෙමාපියන් කැඳවා ගෙන ගොස් මහණ කෙරූ දරුවන් ය. වයස අවුරුදු 08 -10 වන විට මේ කුඩා සාමනේරවරුනට ඇති විය හැකි දෙගිඩියාව ප්‍රියානන්ද කදිමට හසුකර ඇත්තේ, “චුට්ටක් සෙල්ලම් කරලා එන්නද - පුරුදු යහළුවන් හා සැණිනේ.... එහෙම ගියත් ඒ අය පොඩි සාදු - කියා කියන විට වැඳ වැටිලා.... කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ - වෙල් ඉපනැල්ලේ පැන නටලා....” යන පදවැල් කිහිපයෙහි ය.
 
මේ දරුවන් මහණ කෙරෙන්නේ ඇතැම් විට, දරුවාගේ හඳහනට අනුව ඔහු නිවසේ තබා නොගත යුතු යැයි කවුරුන් හෝ හඳහන කියවා දී ඇති නිසා ය. තවත් විටෙක පන්සලේ නායක හාමුදුරුවන්ගේ ආරාධනාව අනුව ය. වැඩිමනත් පවුලේ දරිද්‍රතාවය හේතුවෙනි. දෙමාපිය තීන්දුව මත අසල්වැසි, ඥාති පිරිස් ඉදිරියේ හිස මුඩු කර, සිවුර පැළඳවූ පසු ඒ දරුවාට දෙමාපිය තීන්දුව වෙනස් කිරීම එතරම් පහසු කාර්යක් නොවේ. දෙමාපියන් නිදසුනකට කියනුයේ “සිවුරෙන් හරි කමක් නෑ, කොල්ලා ඉගෙන ගනීනෙ” යැයි කියා ය. ඔවුන් නොකියන්නේ, තනිව තීන්දු ගැනීමට නොහැකි පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල සිටිය යුතු දරුවන්ගේ ළමා විය ඔවුන් සහමුලින් අහිමිකර ඇති බවය. ළමුන් ලෙස ළමා විය ගෙවීමට ඉඩක් නොලබන, ළමා සොල්දාදුවන් මෙන් දැඩි සාසන හා සමාජ විනයකට යටත් කෙරුණු කුඩා ළමුන් යොවුන් වියට එළැඹෙන්නේද යොවුන් විය අලුත් හැඟුම් සඳහා අවසරයක් නොලබන වට පිටාවකය. මේ සංඝ සමාජයේ සැබෑව නම්, අප භික්ෂුවක් ලෙස දකින්නේ දෙමාපිය තීන්දුව මත ගිහි සමාජයේ ළමා විය හා යොවුන් විය බුක්ති විඳින්නට නොලැබුණු, නොහැකිවූනු තරුණ වියට පත්, වැඩිහිටි භික්ෂූන් ය.
 
මේ සමාජයේ ඇති කුහකත්වය නම්, වැඩිහිටි “භික්ෂුවක” වනුයේ තමන්ගේ නොවන තීන්දුවකින් ගිහි සමාජයෙන් දුරස්ථව, ගිහි ජීවිතයට වඩා බෙහෙවින් සංවර කෙරුණු, සංස්කෘතික බැදීම්, ඇගයීම් හා සදාචාරයකට යටත් කෙරුණු ළමා හා යොවුන් පුද්ගලයෙකු බව නොතැකීම ය. සංඝයා වැඩිය යුත්තේ වටපිට නොබලා, තමාට ඉදිරියෙන් බඹයක් පමණ දුර බිම බලාගෙන යැයි සමාජය ඉල්ලා සිටින්නකි. “සංඝයා” සංවරව, ඉවසීමෙන් හා ගෞරවයෙන් වැඩ විසිය යුතු යැයි විනයක් සදාචාරයක් තියා රටේ නීතිය හෝ නොසළකන අතිශය ආත්මාර්ථකාමී පාරිභෝගිකයා කියනු මම අසා ඇත්තෙමි.
 
කෙටියෙන් කියන්නේ නම්, වර්තමාන තරුණ, වැඩිහිටි අති බහුතර සංඝයා හැදී වැඩී ඇත්තේ, අවුරුදු 50 ට ආසන්න අධි තරගාරිත්වයක් සමග වර්ධනය කෙරුණු විවෘත වෙළදපල ආර්ථිකයෙහි ආත්මාර්ථකාමී පාරිභෝගික සමාජය හා ගැටෙමින් ය. සිවුරක් පළඳවා ඔවුන්ට අහිමි කෙරුණු ළමා හා යොවුන් ජීවිතය වෙනුවෙන් හිලව් කළ හැකි තරුණ හා වැඩිහිටි ජීවිතයක් විවෘත වෙළදපල ආර්ථිකයෙහි අත්පත් කර ගැනීමට ඇති පෙළඹවීම අප තේරුම් ගත යුත්තේ ඔවුන් තරුණ භික්ෂුවක් ලෙස ස්වයං නියාමනයක් සමග යම් නිදහසක් ලබන හෙයිනි. එයට එකතුවන තවත් කාරණාවක් වන්නේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි සියලු සේවා, වෘත්තීන් පිරිහෙන විට, දූෂණ වංචා වගා වන විට, සංඝ සමාජයට පමණක් බණ භාවනා සමග පිවිතුරුව පවතින්නට නොහැකි වීමය. මේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් ලිහා දමා අවලංගු කෙරුණු සමාජ හර පද්ධති, ආචාර ධර්ම, විනය, සදාචාරය හමුවේ පිරිහුණු සමාජයේ අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම භික්ෂුවද සංඝ සමාජයද, අඩු වැඩි වශයෙන් පිරිහුමට හසු වන්නකි.
 
පිරිහීමේ වගකීම සහමුලින් සංඝයාට පැවරීමේ ගිහි සමාජයේ කතා මගින් සංඝ සමාජය පිරිසිදු කිරීමට විසඳුම් ලැබෙන්නේ නැත. එයට විසඳුම් ලැබෙන්නේද මේ පුරවැසි සමාජයේ පිරිහීම් සඳහා සමාජ-ආර්ථික සංවර්ධන සැළසුමක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමෙන් බැව් අවධාරණය කළ යුතුව ඇත.
 
කුසල් පෙරේරා
2026 නොවැම්බර 20 වන දින

No comments:

Post a Comment