ඇයද යා යුතුය ගම
අප වැනිම විය යුතුය
ඇවිදින් ඇයද නගරයට
සොයන්නට බඩ වියත
යා හැකිය නොතකා මීටරේ ඉඩ
ඇය වැනි තවත් කිහිප දෙනෙකුට
පොදි බැඳන් අවිනිශ්චිතය
හිර කරන් බඩු මල්ල
එල්ල ගෙන කර මතින් ජීවිත
හිර කෙටුණු දුමිරිය පෙට්ටි වල
ගම යන්න හදිස්සිය
ඇඳිරි නීතිය වැටෙනු පෙර.
කිරි කහට කෝප්පය
රැය නිදන්නට ඉඩ නොදුන්
වැඩක් නැති දහවල
සෝදන්නෙ ගම යන්න දෑතම
කිම පලය දහවල සේදු අත
රේල්ලුවෙ ඉඩ නැතිව හිට ගන්න
ඉඩක් නැති කහින්නට
හෙටක් නැති හිතන්නට
කණස්සලු හිත් තොග පුරවගෙන
පීලි මත ගාට යන රේල්ලුව
වැරදිලා අවසන් නැවතුම
පැමිණ ඇත කොරෝනා නගරෙට
ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට විත් “තණ කොළ කපනවා, ගස් කපනවා” යැයි කෑ ගසමින් ගිණි ගහන මධ්‍යහනේ පාරවල යන තරුණන් මම දැක ඇත්තෙමි. මහත්වරු සේ අන්දවා මදුරු තලා ටෙනිස් පිති වනන්නට පදිකයේ සිටුවා ඇති අහිංසකයින් මම දැක ඇත්තෙමි. “මෑන්පවර්” රැකියා ඒජන්සි මගින් තුට්ටු දෙකේ දෛනික වැටුපකට දිනකට පැය 12 ක් කඹුරණ තරුණියන් මට හමුව ඇත. නගරයේ මැද පංතිකයින් සුඛෝපභෝගී වාහන වල පැමිණ උදේ හවස සනීපාරාක්ෂාවට ඇවිදින බෙල්ලන්විල මන් තීරු අසළ පාරේ රාත්‍රිය ත්‍රීරෝද රථයේම නිදා ගන්නා තරුණන් සමග මා කතා කර ඇත. වැඩ මුරය අතිකාලය බවට පත්ව දවසම හිට ගෙන සේවය කරන්නට වන සුපර්මාකට් තරුණ තරුණියන් ඔවුන්ගේ දුක කියනු මම අසා ඇත්තෙමි. කොරෝනාව හමුවිනැයි ප්‍රකාශ වූ පසු ගෙවී ගිය සතිවල ආදායම් සොයා ගත නොහැකිව මුලු දවසම කහට කෝප්පයකින් දවස ගෙවූ තරුණන් මට හමුව ඇත.
පැය කිහිපයක දැනුම් දීමකින් රටම වසා දැමීමේ ඇඳිරි නීතිය ඉකුත් සිකුරාදා පැනවූ පසු කොළඹ තව දුරටත් නැවතිය නොහැකි වූ මේ අසරණනුන් ඔවුනගේ ගම් බිම් බලා යන්නට පොරකන විට, ඔවුන්ට දොස් නැගූ නාගරික මැද පංතිකයින්ගේ අවලාද මම අසා සිටිියෙමි. ගම නොගොසින් ඉන්නා තැන සිට කෝවිඞ්-19 වයිරසයෙන් ආරක්ෂා වන හැටි ඔවුන්ට ඉගැන්වීමට සමාජ මාධ්‍ය ජාල වලට ගොඩ වූ සුව පහසු ජීවිත සඳහා බඩු තොග ගසා ගත් නෝනලාගේ මහත්වරුන්ගේ පාණ්ඩිත්‍ය මම දුටුවෙමි. ඒවායේ ඇති ආත්මාර්ථයද මම දුටුවෙමි.
මෙය ලියූවේ ඒ සියල්ල ගැන මට ඇති අපුල සමග මේ ඇඳිරි නීති සමගින් වන හිතුවක්කාර පිළිවෙත් නිසා මුල් උදුරා දැමෙන මේ රටේ සියයට 40 ක් පමණ වන අසරණුන් වෙනුවෙනි. ඔවුන්ද ඇතුලුකර ගත හැකි විසඳුම් නොමැත්තේ නම් කෝච්චිය යන්නේ වැරදි පීල්ලක යැයි කීමටය.
කුසල්
2020 මාර්තු 22

No comments:
Post a Comment