Tuesday, November 10, 2026

ආණ්ඩුව වෙනස් නොවුනත් “සංවර්ධනය” හඳුනා ගන්නේ නම් මැනවි

මාලිමා ආණ්ඩුවේ අවුරුදු පහෙන් දෙකක් අහවරය. ලාල් කාන්ත කියන විදියට ඉතිරි අවුරුදු 03 අවසන් වූ පසුවත් “වෙන ආණ්ඩු එන්නේ නැහැ. මේ ආණ්ඩුවම තමයි තියෙන්නේ”. එය එතරම් ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වෙන්නේ, ඒ ආණ්ඩුවට රටේ දියුණුව සඳහා “සංවර්ධන සැළැස්මක්” නොමැති විටය.

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ වන මාලිමා ආණ්ඩුවට මේ ගෙවුනු අවුරුදු 02 ක තුල සංවර්ධන සැළසුමක් යැයි කිසිවක් නොතිබුණි. ආණ්ඩුව පැමිණි විගස විශාල ප්‍රචාරයක් සමග උත්සවත්ශ්රීයෙන් ජනාධිපති අනුර කුමාර දියත් කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන හෝ පිළිවෙලක් ඇතිව දියත් නොවන්නකි. පසුගිය අවුරුද්දේ නොවැම්බරයේදී කඩා වැදුණු දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් වූ සියල්ලන්ට අවුරුද්දක් ගතවන විටද පොරොන්දු වූ ආපදා වන්දි ගෙවා නොතිබුණි. කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන පිළිවෙලක් ඇතිව ක්‍රියාත්මක කෙරුණි නම්, නගරාධිපතිනි ව්රායි බල්තසාර් මහත්මිය පැය 02 ක වැස්සකට යට වන්නේ නැත. 

කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතාට අනුව, කොළඹ නගරය මෙදා වැසි ජලයෙන් යට වීමට එක හේතුවක් වූයේ කෙටි කාලයක් තුල ඇද වැටුණු මහා වැස්ස බැව් සැබෑය. ඔහුට අනුව එය බරපතල ප්‍රශ්නයක් වූයේ වැසි වතුර ගලා යාමට කාණු බෝක්කු, ගලි මහ නගර සභාවෙන් පිරිසිදුකර නොතිබීම ය. පිරිසිදු කිරීමට අපහසු වන්නේ පසුගිය කාලයේ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල කාණු, බෝක්කු, ගලි අවහිර කරමින් අවිධිමත් කටයුතු සිදුව තිබීමය. 

ඔහුගේ පැහැදිලි කිරීමේ යටිපෙළ කතාවක් ඇත. 2025 මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාවට බාර කෙරුණු කොළඹ මහ නගර සභාව, අවුරුද්දකුත් මාස 05 ක කාලයක් පුරා නීතියක් රීතියක් ඇතිව පාලනය වූ මහ නගර සභාවක් නොවන බව, ඒ යටි පෙළ කතාවය. කාණු, බෝක්කු, ගලි අවහිර කරමින් බොහෝ අවිධිමත් කටයුතු සිදුව ඇත්තේ මාලිමා නගරාධිපතිනි බල්තසාර් මහත්මිය යටතේ මාලිමා නගර සභා මන්ත්‍රීවරුන්ගේ ද නිරීක්ෂණ සමගය. මෙය සාරාංශගත කරන්නේ නම්, ජනාධිපති අනුර කුමාරගේ ජනප්‍රිය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන කොළඹ නගරාධිපතිනි බල්තසාර් මහත්මිය යටතේ මුළුමනින්ම “ෆේල්” ය. 

“ක්ලීන් ශ්‍රී ලංකා” අසාර්ථකවීමේ “කොළඹ අත්දැකීම” පැය කිහිපයක වැස්සට ප්‍රදේශ ගණනාවක් යටවීම පමණක්ම නොවේ. මාලිමා ආණ්ඩුවට ඩෙංගු වසංගතය හරියාකාරව පාලනය කර ගැනීමටද නොහැකිව ඇත. මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 1,01,744 ක් ඇත. එය පසුගිය වසර හා ගත් විට සියයට 600 ක වැඩි වීමකි. කොළඹ මහ නගර සභා සීමාව තුල පමණක් ඉකුත් ඔක්තෝම්බර 16 දින වන විට ඩෙංගු රෝගීන් 2,343 ක් සිටියහ. එය සමස්ථ රෝගී සංඛ්‍යාවෙන් සියයට 05 ට ආසන්න සංඛ්‍යාවකි. වැස්සෙන් යටවීමට ප්‍රධාන හේතුවක් යැයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් කියූ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල කාණු, බෝක්කු, ගලි අවහිර කරමින් අවිධිමත් කටයුතු සිදුවීම, මදුරුවන් බෝවීමට විශාල රුකුලක් වූවකි.      

“ෆේල්” යැයි කිව යුත්තේ “ක්ලීන් ශ්‍රී ලංකා” පමණක් නොවේ. අනෙක් හැමකක්ම සමග ආණ්ඩුවම “ෆේල්” ය. රිලා-වඳුරු උවදුරු නතර කර ගැනීමට පෙර ක්ෂේත්‍ර සමීක්ෂණයක් කළ යුතු යැයි ආරම්භ කළ රිලා-වඳුරු සංගණනයට සිදුවූයේ කුමක් දැයි ඇමතිවරයාද දන්නේ නැතැයි සිතමි. නියෝජ්‍ය කෘෂි ඇමති නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවට කියුවේ සත්ව සංගණන දත්ත සියයට 50 ක් පමණ වැරදි බවය. මාලිමා ආණ්ඩුව එම සංගණනය වෙනුවෙන් රුපියල් මිලියන 03.3 ක් වෙන් කරනු ලැබුවේ ය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට යෝධ නිල නිවාස, වරදාන වරප්‍රසාද ලබා දීමෙන් මහජන මුදල් නාස්ති වන්නේ යැයි කියූ ජවිපෙ/මාලිමා නායකයින්, සමස්ථ ණය මුදල වූ රුපියල් බිලියන 6,00 ත් සමග 2025 වසර වන විට වසා දමන්නට තිබූ “ශ්‍රීලංකන්” ගුවන් සේවාව සඳහා ඒ වසරේ අයවැයෙන් රුපියල් බිලියන 20 ක් වෙන් කළේය. 2026 සඳහාවන අයවැය කතාවෙහි කියුවේ “ශ්‍රීලංකන්” ගුවන් සේවා ණය මුදලින් ඩොලර මිලියන 210 ක් ප්‍රතිව්‍යුහගත කරන බවය. මේ 2026 වසරේ පළමු අර්ධය අවසන් වන විට, දෛනික වියදම් හෝ පියවා ගැනීමට නොහැකිව, රුපියල් බිලියන 10 ක හදිසි අමතර මුදලක් මහ භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අවසරය ඉල්ලා සිටියේය. 

අවුරුදු 02 ට ඉහතින් ආණ්ඩුව පිහිටවූ වහා පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුන් සහ නිලධාරීන් අයථා ලෙස භාවිත කළේ යැයි ගාලුමුවදොර වැනි ස්ථානවල ගාල් කළ සුඛෝපභෝගී වාහන විශාල සංඛ්‍යාවක් පෙන්වා වසන්ත සමරසිංහ මාධ්‍යයට කියුවේ ඒ වාහන අපනයනයකර උපයා ගන්නා මුදල් ජනතා සුභසාධනයට යොදවන බවය. එහෙත් එවැන්නක් නොවුනි. මහ භාණ්ඩාගාරය විසින් පළමුව සුඛෝපභෝගි වාහන යැයි වාහන 15 ක් වෙන්දේසි කළ අතර පසුව තවත් 12 ක් වෙන්දේසි කළේය. ඒ වාහන වලට සිදුවූයේ කුමක්දැයි විපක්ෂය තබා සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිසිවකුද කතා කරන්නේ නැත. වසන්ත සමරසිංහ කියූ ඒ වාහන සංඛ්‍යාව කොපමණද? ඒවා සියල්ල වෙන්දේසි කළේද? වෙන්දේසි කළේ නම් ලැබූ මුළු ආදායම කොපමණද? ඒ මුදල් යෙදවූයේ කුමක් සඳහාද? උපරිම වගවීමක් හා පාරදෘශ්‍ය භාවයක් පොරොන්දුවූ මාලිමා ආණ්ඩුවට ඒ සියලු විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීමක් හා යුතුකමක් ඇති බැව් මතක් කළ යුතුදැයි නොදනිමි.

රජයේ සේවයට අනවශ්‍ය සුඛෝපභෝගි වාහන විශාල සංඛ්‍යාවක් ඇතැයි කියූ, ජ.වි.පෙ/මාලිමා නායකයින් දැන් ආණ්ඩුවේ රාජකාරී සඳහා යැයි වාහන 1,700 ට වැඩි සංඛ්‍යාවක් ගෙන්වීමට ටෙන්ඩර කැඳවා ඇත. ටෙන්ඩර කැඳවීමේ ඇද පළුදු ගැන කතා නොකර, එපමණ වාහන සංඛ්‍යාවක් ආණ්ඩුව ආනයනය කිරීම ගැන ජනාධිපති අනුර කුමාර ගේ හේතු දැක්වීමට කන් දුනහොත් එසේ වාහන ගෙන්වීමට සිදුව ඇත්තේ තිබෙන්නාවූ වාහන ඉතා පැරණි අබලන් වාහන වන හෙයිනි. ඉකුත් නොවැම්බර 06 වන දින ජාතික වෘත්තීය සමිති සමුළුව අමතා ජනාධිපති අනුර කුමාර කියා තිබුණේ පසුගිය 2025 වසරේ වාහන අළුත්වැඩියා කිරීමට රුපියල් බිලියන 25 ක් පමණ වැය වූ බවය. එළෙස මුදල් වැය කරමින් අබලන් පැරණි වාහන නඩත්තු කිරීම ආණ්ඩුවට දැරිය නොහැකි යැයි ඔහු කියා තිබිණ. 

අපට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් අසන්නට තිබෙන්නේ ආණ්ඩුව 2024 බලයට පැමිණි විගස ගාලුමුවදොර, ශ්‍රී ලංකා පදනම් ආයතනය වැනි ස්ථානවල ගාල් කළ, වසන්ත සමරසිංහ මාධ්‍යයට පෙන්වූ සුපිරි සුඛෝපභෝගී වාහන කොපමණක් වූයේද සහ දැන් ඒ වාහන කොහේදැයි කියා ය.

මේ සමස්ථ කතාවේ හරය නම්, රටට අවශ්‍ය “ජාතික සංවර්ධන” ක්‍රියාදාමය තුල ප්‍රතිචාර දැක්විය යුතු, විසදුම් ලබා දිය යුතු අතුරු කාරණා වලට අත ගසමින් ඒවාද අඩාලෙට කිරීමේ අපරිනත  හා ආධුනික දෑවුරුදු පාලන යුගයක් මිස බහුතර ජනතාවගේ ජීවිත ගුණාත්මකව සුරක්ෂා කිරීමේ පලදායි යුගයක් මාලිමා ආණ්ඩුව යටතේ නොවුනු බවය. දැන් එබැවින් කතා කළ යුත්තේ ඉදිරි අවුරුදු 03 හි ජනතාවගේ දියුණුව වෙනුවෙන් මේ සමාජය ඉල්ලා සිටින ප්‍රමුඛතා ගත සංවර්ධනය කුමක්ද යන්න ය.

පළමුවැන්න, ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධ “යළි ගොඩනැගීමේ පාළම” මැයෙන් වූ 2024 වාර්තාවෙහි සඳහන් 2025 වසරේද විසඳුම් නොවුනු මේ කාරණා සම්බන්ධවය. “.....2023 වන විට ලාංකිකයින්ගෙන් සියයට 25.9 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වනු ඇතැයි ගණන් බලා ඇත. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සහ කාන්තාවන් සැළකූ විට, ශ්‍රම බලකායේ ඔවුන්ගේ සහභාගිත්වය හීන වෙමින් ඇත. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමානයේ ව්‍යාපාර වැසී යාමත් තත්ත්වය උග්‍ර කර ඇත. මිල ඉහළ යාම්, ආදායම් අහිමි වීම් සහ අර්ධ රැකියා හේතුවෙන් ගෘහිකයින් බහුවිධ තෙරපීම් වලට ලක්ව ඇත. ඒ හේතුවෙන් ආහාර සඳහාත් සෞඛ්‍ය හා අධ්‍යාපනයටත් අවශ්‍ය වියදම් වෙනුවෙන් ණය ගැනීමට ගෘහිකයින් තල්ලු වී ඇත.” මේ ආර්ථික පැවැත්ම සහමුලින් කණපිට හැරවිය යුතුය. ඉදිරි වසරවල අවශ්‍යතාව වන්නේ ආදායම් හා වත්කම් පරතරය සීඝ්‍රයෙන් අඩු කෙරෙන, ජීවත්වීමේ වියදම පාලනය කෙරෙන සහ සමාජ සේවාවන් සඳහා වන අවකාශය වර්ධනය කෙරෙන සංවර්ධන සැළසුමකි.

දෙවැන්න, විවෘත වෙළදපල ආර්ථිකයෙන් අත හැර දමා තිබෙන ජනගහනයෙන් බහුතරය වන පලදායි පැවැත්මක් නොමැති ග්‍රාමීය සමාජය සංක්‍රමණික ශ්‍රමික ශ්‍රමිකාවියන් වැඩි වැඩියෙන් පිටරට පටවා ඔවුන්ගෙන් වැඩි වැඩියෙන් සම්ප්‍රේෂණ අපේක්ෂා කෙරෙන ග්‍රාමීය සමාජයක් නොවිය යුතුය. ජාතික ආර්ථිකයෙහි අතිශය වැදගත් අනිවාර්ය දායකත්වයක් ලබා දෙන දියුණු කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස ග්‍රාමීය සමාජය වර්ධනය කිරීමේ සැළසුම නොපමාව සමාජගත කිරීමය.

තෙවැන්න, අවුරුදු 50 ට ආසන්න කාලයක් විවෘත වෙළඳපල ආර්ථිකය විසින් ලාංකික “පුරවැසියා” අති කුහක, ආත්මාර්ථකාමී, සදාචාරයක් විනයක් නැති තරගකාරි වෙළඳපල සමාජයෙහි ආර්ථික දූෂ්කරතා ගැන මහ හඬින් නිරන්තරව කතා කරන “පාරිභෝගිකයෙකු” බවට පත්කර ඇත. එහි අවාසනාවන්ත ප්‍රතිඵලය වන්නේ සමාජ අවධානයක් නොලබන වාර්ෂිකව වැඩිවන සිය ගණන් ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන අතවර හා ලිංගික අපචාර, කොන්තරාත් මිනී මැරුම්, කප්පම් ගැනීම්, පාසල් දක්වා ව්‍යාප්ත වූ යෝධ ලාභ සහිත අන්තරායකර මත්ද්‍රව්‍ය අලෙවිය, බරපතල සමාජ පිරිහීම් යැයි නොසළකන සමාජයක් අප බාර ගෙන තිබීමය. ආර්ථිකයට දක්වන අවධානයට වඩා වැඩි සංවේදිතාවක් හා සමාජ වගකීමක් ඇතිව මේ සමාජ පිරිහීමට විසදුම් තිබිය යුතුය. නීතිය පිරිසිදුව හා සාධාරණව ක්‍රියාත්මක කරන සහ ප්‍රමාදයකින් තොරව අධිකරණයේ පිහිට ලැබිය හැකි ජනතා කේන්ද්‍රීය රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සැළසුම් වහා සමාජගත කිරීමය.  

මෙය සංක්ෂිප්ත කළහොත් මේ ආණ්ඩුව විදේශ විනිමය ඩොලර ලක්ෂ ගණන් වැයකර මන්ත්‍රීවරුන්ට හා රාජ්‍ය නිලධරයට සුපිරි සුඛෝපභෝගී වාහන ගෙන්වීම, වසා දැමිය යුතු රුපියල් ලක්ෂ ගණනින් පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය නඩත්තු කිරීමට මහජන මුදල් රුපියල් දස ලක්ෂ ගණනින් වැය කිරීම, සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට යැයි හැමිල්ටන් ඇල දියුණු කිරීමට මහජන මුදලින් රුපියල් මිලියන 700 ක් වැය කිරීම වැනි ජන ජීවිතයට අතිශය දුරස්ථ කිසිදු හදිස්සියක් නැති කාරණා ඔවුන්ගේ පාලනයෙහි ප්‍රමුඛතා ලෙස සළකනු ලැබේ. එයට හේතුව, විවෘත වෙළදපල ආර්ථිකය වඩා නිදහස්ව පවත්වා ගැනීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට විකල්පව, ජනතා කේන්ද්‍රීය දේශීය ආර්ථිකයක් සඳහා මේ මාලිමා ආණ්ඩුවට ඔවුන්ගේ වැඩසටහනක් නොවන හෙයින් ව්‍යාපාරික ප්‍රමුඛතා වෙනුවෙන් තීන්දු ගැනීමට සිදුව තිබීමය.  

එහෙත් ජන ජීවිතයට අදාල ප්‍රමුඛතා ඊට බෙහෙවින් වෙනස්ය. ඒ සදහා අවශ්‍ය වන්නේ, (1) ස්ථාවර ජීවන වියදම් මට්ටමක් සහ අමතර ආදායම් නොසොයා ජීවත් වන්නට සහ ඊට ගැලපෙන මාසික ආදායමක් උපයාගත හැකි, ආදායම් හා වත්කම් පරතරය තුනී කෙරෙන වැදගත් නියාමනයක් සහිත පලදායි වෙළඳපල ආර්ථිකයක් (2) ගමේ රැඳෙමින් ගරුත්වයක් ඇති ජීවිතයක් ගත කිරීමට ස්ථාවර ආදායම් ඉපැයීමට හැකි ග්‍රාමීය ආර්ථිකයක් සහ දියුණු යටිතල සේවා පහසුකම් සඳහා අවකාශයක් ඇති සහ ඊට පිටුවහලක් වන (3) පිරිසිදුව හා සාධාරණව නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන ප්‍රමාදයකින් හා අධික වියදමකින් තොරව අධිකරණයේ පිහිට ලැබිය හැකි ජනතා කේන්ද්‍රීය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සැළසුම් කිරීමය. 

හෙට අනිද්දා 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ඇතිව ඉදිරිපත් කෙරෙන එහි ජන ජීවිතයට අදාල ප්‍රමුඛතා මත යෝජනා අඩංගුව ඇතැයි සිතන්නට අසීරුය. එනිසා 2027 පළමු කාර්තුව අවසන් වන්නට ප්‍රථම, ඉන් ස්වාධීනව ඉදිරි වසර 03 සඳහාවන කෙටි කාලීන සංවර්ධන සැළසුමක් සමාජ අනුමැතියකට තැබෙන්නේ නම්, එයම මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණයක් යැයි කිව යුතුය.

කුසල් පෙරේරා
2026 නොවැම්බර 10 වන දින

No comments:

Post a Comment

ආණ්ඩුව වෙනස් නොවුනත් “සංවර්ධනය” හඳුනා ගන්නේ නම් මැනවි

මාලිමා ආණ්ඩුවේ අවුරුදු පහෙන් දෙකක් අහවරය. ලාල් කාන්ත කියන විදියට ඉතිරි අවුරුදු 03 අවසන් වූ පසුවත් “වෙන ආණ්ඩු එන්නේ නැහැ. මේ ආණ්ඩුවම තමයි තිය...