▼

Monday, November 23, 2026

සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද?


“මේක අසීමිත වාණිජ නිදහසක් එක්ක පවත්වාගෙන යන ජාවාරම්කාර වෙළඳපලක්. මේකෙ ‘ගම’ ඉතිරි වෙන්නේ වාටියේ. මේකෙ හැදෙන්නේ ජාවාරම්කාර හඩු සල්ලිකාර (Filthy Rich) පැලැන්තියක්. ඒ ජාවාරම්කාර ආර්ථිකයේ ලාභ වලින් යැපෙන වෘත්තිකයින් ඇතුළු නාගරික මැද පංතියක් ඉතාම ආත්මාර්ථකාමී පැවැත්මක් හදා ගෙන, මේ ජාවාරම්කාර ආර්ථිකයේ සුවපහසු ජීවිත ගෙවනවා.”
(කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය 2018 සැප්තැම්බර 27 වන දින වැඩ “වර්ජන උද්ඝෝෂණ මැද රට කොයිබටද?” මැයෙන් සංවිධානය කර පැවැත්වූ විවෘත සංවාදය සඳහා ආරාධිත දේශකයෙකු ලෙස මා කළ දේශනයෙන් උපුටා ගත්තකි)  

බලා සිටියදී සමාජ ආර්ථික විෂමතා, ප්‍රතිවිරෝධ සීඝ්‍රයෙන් වර්ධනය වන, ජනගහනයෙන් බහුතරයක් වන ග්‍රාමීය සමාජය අතහැර දැමුන, මේ දූෂිත මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළදපල ආර්ථිකය සමග රටක් ජනතාවක් වශයෙන් යහපත් ඉදිරි ගමනක් ඇත්තේ නැත. සියල්ලන් ඇතුළුවන (Inclusive) වඩා යහපත් සමාජ ආර්ථික ක්‍රියාවලියක් සඳහාවන සංවාදයක් සමග විකල්ප සැළසුමක් අවශ්‍ය වන්නේ එනිසාය. ඊට වෘත්තිකයින් හා නාගරික මැදපංතිය සක්‍රීයව හා සාධනීය ලෙස හවුල් නොවීම, අප තේරුම් ගත යුතු හා කතා කළ යුතු මාතෘකාවකි. 

තරුණ විලාපයේ “සිස්ටම් චේන්ජ්” ඉල්ලුම

අවුරුදු 75 ක් මහළු දේශපාලකයින් රට කෑවා යැයි චෝදනා කරමින් 2022 ආරම්භයේ සිට #GotaGoHome යැයි මාස කිහිපයක් ගාලු මුවදොර පිටියේ නායකත්වයක්, සංවිධානයක් නැතැයි කියමින් රොද බැන්ද තරුණ තරුණියන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ දමන්නට යැයි ඉල්ලා සිටියේ “සිස්ටම් චේන්ජ්” එකකි. සිංහලෙන් කියන්නේ නම්, “සම්මත පාලන පද්ධතියේ පැහැදිලි වෙනසකි”. ඔවුන් ඉල්ලන ඒ වෙනස කුමන ආකාරයේ වෙනසක් දැයි ඇසූ විට බහු පක්ෂ අන්තර්වාර පාලන, බහුතර තරුණ නියෝජනයක් ඇති ආණ්ඩු පාලන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පැවැත්වෙන මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම වැනි “සම්මත පාලන පද්ධතියේ වෙනස්කම්” හා සම්බන්ධයක් නොමැති කතා කියූහ.  

ආණ්ඩු විරෝධයන්හි පෙර නොදුටු තරුණ හඬක් රැගෙන විත් තිබූ සහ සැළකිය යුතු නාගරික මැදපංතික හවුලක් තිබූ ගාලු මුවදොර #GotaGoHome විරෝධයෙහි දේශපාලන ප්‍රකාශනය ලෙස හමුවන “සිස්ටම් චේන්ජ්” සඳහාවූ ඉල්ලීම, වැදගත් සමාජ සාකච්ඡාවකට බඳුන් විය යුතුව තිබූවකි. එසේ නොවුනේ මන්දැයි මම පසුගිය මැතිවරණ සමයේ කල්පනා කෙරුවකි. වෘත්තිකයින්, විද්වතුන්, උගතුන් ඇතුළත් නාගරික මැදපංතිය අතර 2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හඳුන්වනු ලැබුණේ “ගාලු මුවදොර අරගලයේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීම” සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසය. අරගලයෙහි ඉතිරි වූ “දේශපාලන අභිමතාර්ථය” එළෙසින් මැතිවරණයට ලඝු කෙරුණේ “රාජපක්ෂ විරෝධය” වෙනුවෙන් “මාලිමාවට දීලා බලමු” යැයි වූ ජනප්‍රිය ඉල්ලීම වෙනුවෙනි. රාජපක්ෂ දේශපාලනය සහමුලින් අවසන් කිරීමට ඡන්දය දීමෙන්, අරගලයෙන් ඉල්ලූ “සම්මත පාලන පද්ධතියෙහි” වෙනස සිදුවන බැව්, මැතිවරණ වේදිකාවල කියූවකි.  

ගාලු මුවදොර විරෝධයෙහි තරුණ හඬද ඔවුන්ගේ “සිස්ටම් චේන්ජ්” සඳහාවූ කතාව “මාලිමාවට දීලා බලමු” සටන් පාඨයෙහි බොඳ වන්නට ඉඩ හැරියේය. නාගරික මැදපංතික වෘත්තිකයින්, විද්වතුන්, උගතුන්ද “සිස්ටම් චේන්ජ්” ගැන කතාව “දීලා බලමු” ඉල්ලීමට භාර කළහ. බලන්නට හෝ මාලිමාවට ජනාධිපති ධූරයත් ආණ්ඩුවත් දෙනු ලැබිණ. දෑවුරුද්දක් අවසානයේද දකින්නට වෙනසක් නැතැයි විශේෂයෙන් නාගරික පිරිස් අතර බොහෝමයක් මේ වන විට යම් කලකිරීමකට පත්ව ඇත. මාලිමාවට ඡන්දය දුන්නේ යැයි ප්‍රසිද්ධියේ නොවුනත් කම්පාවන නාගරිකයින්ද දැන් අඩු නැත. ඊට විකල්ප යහපත් සමාජ ආර්ථික ක්‍රියාවලියක් සඳහාවන අදහස් දැක්වීමක් ගැනද එනමුත් තවමත් අසන්නට නැත. ඒ සම්බන්ධ වඩාත් නිහඬ පිරිස වෘත්තිකයින් හා නාගරික මැදපංතිය බැව් පෙනෙන්නට තිබෙන්නකි. 

දැනට කතාව කුමක්ද?

මෙහි වැදගත් කතිකාව විය යුත්තේ “හෙට” ගැන කතාව වන හෙයින්, “ඊයේ” කතාව කෙටියෙන් සඳහන් කරන්නේ, ඒ කතාව නොමැතිව හෙට ගැන කතා කරන්නට “සිස්ටම්” එක, “සම්මත පාලන පද්ධතිය” හරියට හඳුනා ගැනීමට නොහැකිවන නිසාය. 

යටත් විජිත පාලනයෙන් අපට බාර දෙනු ලැබූ “සිස්ටම්” එක, “සම්මත පාලන පද්ධතිය” වන්නේ, (1) සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තීන්දු කෙරුණු පාර්ලිමේන්තුව සහ එහි “දෙවන මණ්ඩලය” ලෙස ව්‍යවස්ථාපිත කෙරුණු සෙනෙට් මණ්ඩලයත් (2) ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් ඔවුන් සතු විධායක බලය මත ක්‍රියාවට නැගිය යුතු තීන්දු, තීරණ, විධාන, වැඩසටහන් සමාජගත කිරීම සඳහා සංවිධානය කර ඇති “රජය” ලෙස හඳුන්වන දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාර අයත් සංවිධාන ව්‍යුහයත් (3) ඒ සියල්ලෙහි සහ පුරවැසියාගේ බලය, වගකීම, සීමා, තහංචි තීන්දු කෙරෙන, විටින් විට සංශෝධනය කෙරෙන හා අලුතින් පැනවෙන නීති රීති, අණ පනත් සමූහයද වන්නේය. 

මැතිවරණ ඔස්සේ පාර්ලිමේන්තු ක්‍රියාවලියට පදනම සකසන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමග හැදෙන රටේ දේශපාලන දේහය නැතිනම් ව්‍යුහය සැළකෙන්නේ “සිවිල් සමාජය” ලෙසින් ය. 

පළමු වරට බණ්ඩාරනායක මැතිනියගේ 1970 සභාග ආණ්ඩුව 1972 ජූලියේදී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් මේ “පාලන පද්ධතිය” මඳක් සංශෝධනය කළේය. ඒ අතර ප්‍රධාන වන්නේ අප “නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්” යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත් කිරීම ය. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයට යටත්ව තිබූ අපගේ අධිකරණ ක්‍රියාවලිය ස්වාධීන අධිකරණ පද්ධතියක් ලෙස ස්ථාපිත කෙරුණි. 

අනෙක් සංශෝධන අතර සෙනෙට් මණ්ඩලය අහෝසිකර ඒක-මණ්ඩල පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම ඇත. එතෙක් අමාත්‍යාංශ සඳහා “ස්ථිර ලේකම්වරුන්” පත් කිරීමේ රාජ්‍ය සේවා කොමිසම සතුව තිබූ බලය, ඇමති මණ්ඩල නිර්දේශයට යටත් කිරීම අයහපත් සංශෝධනයක් විය. එතැන් සිට, ස්ථිර ලේකම්වරුන් වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරුන් පත් විය. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 29 වන වගන්තිය යටතේ සුළු වාර්ගික - ආගමික හා වෙනත් සුළුතර ප්‍රජාවන් සඳහා තිබූ ප්‍රතිපාදනය ඉවත් කර, සියලු පුරවැසියන් සමානයින් යැයි පිළිගනු ලැබිණ. ඊට මතුවූ විරෝධයට පිළිතුරු දෙනු ලැබුණේ, වැවිලිකරයේ දෙමළ ජනතාවගේ පුරවැසි හා ඡන්ද අයිතිය 1948 දී අහෝසි කළ විටද, සිංහල භාෂාව 1956 දී එකම රාජ්‍ය භාෂාව කිරීමෙන් රාජ්‍ය සේවකයෙකු ලෙස තමන්ට අසාධාරණයක් සිදුවන්නේ යැයිද පැවරූ නඩු සම්බන්ධව ප්‍රිවි කවුන්සිලය දක්වා ගියද කිසියම් සාධාරණත්වයක් ඉටුකර ගැනීමට සොල්බරි ව්‍යවස්ථාවෙහි 29 වන වගන්තිය පිටුවහලක් නොවී යැයි යන්න ය.

ජනාධිපති ජයවර්ධන විසින් ඉදිරිපත් කෙරුණු 1978 අගෝස්තුවෙහි සම්මත කෙරුණු දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලසම්පන්න විධායක ජනාධිපති ධූරය සමග විධායක බලය සීමා කෙරුණු වත්මන් පාර්ලිමේන්තුව ස්ථාපිත කරනු ලැබින. ‘78 ව්‍යවස්ථාවෙහි වැදගත් ලක්ෂණය වන්නේ මානව හා සිවිල් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරීමත් ජාතික වශයෙන් ඉතා වැදගත් කාරණා සම්බන්ධව “ජනමත විචාරණයක්” පැවැත්වීමේ ප්‍රතිපාදන ඇතුළත් කිරීමත් ය. එතැන් සිට ගත වූ අවුරුදු 48 ක කාලයේ මේ ව්‍යවස්ථාව විවිධ කාරණා වෙනුවෙන් 22 වන වරටත් සංශෝධනය කෙරුණකි.

එනමුත් මෙහි අවධාරණය කළ යුත්තේ සමස්ථයක් ලෙස අපගේ රාජ්‍ය පාලනයෙහි පද්ධතිමය වෙනසක් ලෙස කිව හැකි වැදගත් කිසිවක් නොවුනු බවය. යටත් විජිත පාලනයෙන් අප බාර ගත් (1) පාර්ලිමේන්තුව (2) “රජය” ලෙස හඳුන්වන දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාර අයත් සංවිධාන ව්‍යුහය සහ (3) නීති රීති, අණ පනත් සමූහය මූලික ව්‍යුහාත්මක වෙනස්කම් නොමැතිව පවතින්නේය. වෙනසකට ඇත්තේ පාර්ලිමේන්තුව සතුව තිබූ විධායක බලය ජනාධිපති සමග ක්‍රියාත්මක කිරීමය. ඉන් පද්ධතිමය වෙනසක් නොවුනි. පාලන පද්ධතියෙහි වෙනසක් නොවුනු නමුත් පාලන බලයේ සීමා ඇති කෙරුණු වෙනසක් වූයේ 1978 විවෘත වෙළදපල ආර්ථිකය හඳුන්වා දීමත් සමග වෙළඳපල නියාමනය කිරීමේ අධිකාරි බලයක් තිබූ සම්මත පාලන පද්ධතියෙහි “රජය” ඒ කාර්යෙන් සැළකිය යුතු දුරකට ඉවත්කර තැබීමය. ඒ සමග “රජය සහ එහි දේශපාලන හිමිකාරිත්වය” බරපතල ලෙස දූෂිත වීමත් අකාර්යක්ෂම වීමත් එනිසාවෙන්ම දෛනික සමාජ පැවැත්මෙහි පිරිහීමත් අපි අත් විඳින්නෙමු.

ගාලු මුවදොර තරුණ ඉල්ලීමෙහි වූයේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන් ලොකුවට කතා නොවන නමුත් සමාජයට දරන්නට නොහැකි තරමේ පිරිහීමකට ලක්ව ඇති රාජ්‍ය පාලන පද්ධතියෙහි සුසමාදර්ශී වෙනසකි. එය එළෙසින් විස්තර නොකෙරුණද හදිසියේ කළ හැක්කක්ද, කිහිප දෙනෙකුට කළ හැක්කක්ද කළ යුත්තක්ද නොවේ. 

දැන් “හෙට” ගැන කතාවට

මෙතැන් සිට “හෙට” ගැන කතාව ආරම්භ කිරීමට පූර්විකාවක් ලෙස මම මේ ප්‍රශ්නය අසමි. “තරුණ පිරිස් ගාලු මුවදොර රොද බැඳ, සිස්ටම් චේන්ජ් යැයි රාජ්‍ය පාලන පද්ධතියෙහි සුසමාදර්ශී වෙනසක් ඉල්ලා සිටියදීත් නාගරික මැදපංතික වෘත්තිකයින් හා විද්වතුන් ඒ සම්බන්ධ කතිකාවකට හවුල් නොවන්නේ ඇයි?” එය ඇසීමට හේතු වන්නේ, රාජ්‍ය පාලන පද්ධතියෙහි වැදගත් වෙනසක් කිරීමට මූලික කාරණා කිහිපයක් තිබීම ය. පළමුව, පවතින වෙළඳපල ආර්ථිකයෙහි වගා වන ග්‍රාමීය හා නාගරික සමාජ පිරිහීම නිවැරදිව තේරුම් ගැනීමේ අධ්‍යයනයක් සිදුවිය යුතුය. දෙවැන්න, ඒ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් රාජ්‍ය පාලන පද්ධතියෙහි වැදගත් ජාතික වෙනසක් සදහා සැළසුමක් සම්පාදනය කළ යුතු වන්නේය. අවසන් වශයෙන් එය ක්‍රියාත්මක කිරීමට පෙර දියුණු සමාජ කතිකාවක් මගින් එයට සමාජ අනුමැතියක් ලබා ගත යුතුව ඇත.

වෘත්තිකයින් හා විද්වතුන් ඉලක්ක කර ප්‍රශ්නය මතු කෙරුණේ එවැනි යෝධ වගකීමකට උර දිය හැකි දැනුම, අවබෝධය, අත්දැකීම සහ අලුත් විශ්ව දැනුමට පහසුවෙන් අත පොවන්නට හැක්කේ නාගරික මැදපංතික වෘත්තිකයින්ට හා විද්වතුන්ට වන නිසා ය.

එවන් සමාජ වගකීමක් බාරගත යුතු වෘත්තිකයින්, විද්වතුන් හා ඔවුන්ගේ සංවිධාන, සම්මත පාලන පද්ධතියේ පිරිහීම, බිඳ වැටීම දකින්නට තිබූයේ තරුණන් 2022 අප්‍රේල්හි ගාලු මුවදොර පිටියට රොද බඳින්නට දසකයකට දෙකකට පෙරාතුව ය. ඒ ගරා වැටීම ඔවුන් නොදැක්කා යැයි මම නොසිතමි. එහෙත් ඒ ගැන කතා නොකර සිටීමේ පොදු නැඹුරුවක් ඔවුන් අතර ඇත. එවැනි නැඹුරුවකට හේතු වන්නට ඇත්තේ කුමක්ද? කුමන වට පිටාවක්ද?  

නාගරික මැදපංතියේ මූලික ආකල්පමය හැඩ ගැසීම සිදුවන්නේ මේ විවෘත වෙළඳපල ආර්ථිකයට අප මාරු වීමත් සමගය. විවෘත වෙළඳපල ආර්ථිකය සඳහා විකල්ප නොමැති යැයි ගෝලීය වශයෙන් තහවුරු කෙරුණු මතය සමගින්ය. වෘත්තිකයින්, විද්වතුන් ඇතුළු වර්තමාන නාගරික මැදපංතිය වර්ධනය වූයේ අතිශය තරගකාරී ඒ විවෘත වෙළඳපල ආර්ථිකයෙහිය. එහි ගොඩ නැගෙන තරගකාරිත්වය පරාර්ථකාමයට ඉඩ දෙන්නක් නොවේ. දූෂිත ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදෙන්නේ ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ය. ඔවුන් බහුතරය නාගරික හා අර්ධ නාගරික මැදපංතිකයින් ය. ඔවුන්ට මාසික ආදායමෙහි අතිරික්තයක් නොවුනත් “ණය” ගැනීම, අනෙක් පහළ ආදායම්ලාභීන්ට වඩා පහසු විය. මේ වෙළඳපල ආර්ථිකයෙහි කල්බදු ක්‍රම, බැංකු ණය, ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිපුර ඇත්තේ ඔවුන් අතෙහි ය. ණය ගැනීමේ එවැනි පහසුකම් සමග තරගකාරී මැදපංතික පාරිභෝගිකයින් හැදීමේ දියුණු වෙළඳපල ප්‍රවර්ධන හා ප්‍රචාරණ ආයතන බිහිව ඇත. වැඩි වැඩියෙන් ආදායම් ඉපැයීමට බල කෙරෙන ආතතියක් සමග වෘත්තිකයින් හා විද්වතුන් ඇතුළු නාගරික මැදපංතිකයින් ඉන්නේ විවෘත වෙළඳපල ආර්ථිකයක ලැබිය හැකි සුව පහසු දෛනික පැවැත්මක් සමග ය. 

වාහන ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලිය කප්පාදුව, සිල්ලර වෙළඳපල පාරිභෝගික භාණ්ඩ හිඟය වැනි ඔවුන්ගේ දෛනික ජීවන රටාවට අවුලක් වන ආර්ථික බිඳ වැටීම් මිස සමාජ සාර ධර්ම, විනය, පුද්ගල හා ප්‍රජා හික්මීම පිරිහීමෙන් සමාජයේ ශිෂ්ඨ පැවැත්ම බිද වැටීම වත්මන් නාගරික මැදපංතියට එතරම් අදාල නොවේ. ආර්ථික බිඳ වැටීම ගැන ඇතිවූ මහා ගෝසාව වත්මන් සමාජයේ දහස් ගණනින් ස්ත්‍රීන් හා බාල වයස්කාර දැරිවියන් දූෂණය කිරීම, ළමා හිංසන, ළමා අපචාර, අන්තරායකර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් මිනීමැරීම් සම්බන්ධව අසන්නට නැත්තේ, එවැනි සමාජ පිරිහීම් තවමත් ඔවුන්ගේ දෛනික පැවැත්මට හිරිහැරයක් නොවන හෙයිනි. හිරිහැරයක් වූවත් ඒවා මග හැර යා හැකි හෙයිනි.  

පරම්පරා දෙක තුනක් නාගරික ඉහළ මැදපංතික පැවැත්මක් හිමිකර ගෙන ඉන්නා වෘත්තිකයින්, විද්වතුන් එහි වෙනසක් ගැන සිතන්නට සූදානම් නැත. මේ දූෂිත ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකයෙහි සියලු දුක්ඛ දෝමනස්සයන් අහෝසි කෙරෙන සහ සියල්ලන් ඇතුළුවන (Inclusive) වඩා යහපත් සමාජ ආර්ථික ක්‍රියාවලියක් ගැන සිතන්නට තරම් මානසික හුරුවක ඔවුන් නැත. නාගරික ඉහළ මැදපංතියේ පංගුකාරයින් ලෙස ඔවුන් වත්මනෙහි බුක්ති විඳින්නාවූ සුවපහසු ස්ථාවර, නිදහස් පැවැත්ම නඩත්තු කෙරෙන තාක් කල් එවැනි ඕනෑ කමක් ඔවුන්ට ඇති නොවනු ඇත.

කුසල් පෙරේරා
2026 නොවැම්බර 24 වන දින 


No comments:

Post a Comment