Friday, July 31, 2026

සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව


මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති විශ්‍රාමික රෙයා අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාය. ඔහු සිය අමාත්‍ය නිලධාරීන්ට පළාත් සභා පිළිබඳව පසුවිපරම් වාර්තාවක් හැකි ඉක්මණින් සකසා දෙන්න යැයි දන්වා ඇත. මේ වනවිට පළාත් සභා පිහිටුවා අවුරුදු 32 ක් වන හෙයින් පළාත් සභා මගින් බලාපොරොත්තු වූ සේවා හා අරමුණු ඉටුව ඇතිදැයි විමසා බැලිය යුතු බැව් රාජ්‍ය ඇමති වීරසේකර පවසා ඇත. පළාත් සභා 08 කින් ආරම්භ කෙරුණු පළාත් සභා ක්‍රමයෙහි දැන් පළාත් සභා 09 කි.

පසුවිපරම වැදගත්ය. එය වැදගත් වන්නේ මේ විපරම කෙරෙන්නේ කවර කාරණා හා ක්ෂේත්‍ර අනුවද යන්න මතය. එය හුදෙක් මන්ත්‍රී සංඛ්‍යා, මැතිවරණ වියදම්, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ඇතුලු වාර්ෂික අය වැය වැනි කාරණා වලට සීමා කෙරෙන්නක් වුවහොත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනය පිළිබඳ දේශපාලනයේ වැදගත්කම අත හැරෙන්නේය. වියදම පෙන්වා පළාත් සභා සුදු අලියෙක් යැයි සමාජයේ කතා බහ වන්නේ පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කෙරෙන අතිශය විශාල ජනතා මුදල ගැන කතා නොකරය. එබැවින් “සුදු අලියා” ගැන කතාව ඉන් ඔබ්බට ගෙන යෑම වෙනනුවෙන් මෙය ලියන්නකි.

විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

පාර්ලිමේන්තුව සතු වූ විධායක හා ව්‍යවස්ථාමය වගකීම් සමූහයෙන් පළාත් මට්ටමින් කෙරෙන ප්‍රාදේශීය සැළසුම්, සංවර්ධන කාර්ය හා ඊට අදාල ආදායම් උත්පාදනය සහ නීති සම්පාදනය පළාත් සභා සඳහා දෙනු ලැබූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතතාව දීර්ග කාලයක සිට ඔවුන්ගේ ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු නොවන්නේ යැයි ඒ වගකීම් ඔවුන්ගේ ප්‍රදේශයට ඉල්ලා සිටීමේ දේශපාලනය හේතුවෙනි. කෙටියෙන් කියන්නේ නම්, විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

බලය කොළඹට කේන්ද්‍රවූ ආණ්ඩුව හැදීමට අවස්ථාවක් ඇතැයි සිතු හැම දේශපාලන පක්ෂයක්ම සහ පක්ෂ හවුලක්ම ඒ ආණ්ඩු පාලනයේ බලය පළාත් සමගින් බෙදා ගැනීමට සූදානම් නොවුනි. ඒ බලය ඉල්ලා සිටි දෙමළ දේශපාලනය මට්ටු කරන්නට ජයවර්ධන ආණ්ඩුව 1981 මැයි 31 වන දින දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සමග යාපනය නගරය විනාශකර කීර්තිමත් යාපනය පුස්තකාලයද ගිණිබත් කළේය. දෑවුරුද්දකට පසු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව්ගේ මැදිහත්වීමෙන් සංවිධානයකර දියත් කළ 1983 ජූලි දෙමළ සංහාරයෙන් විශාල දෙමළ පිරිසක් තමිල් නාඩුවේ සරණාගතයින් ලෙස කඳවුරුගත වූහ. එබැවින් ලාංකීය දෙමළ ජනතාව වනුවෙන් පෙනී සිටි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව හා තමිල්නාඩු දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ නිදහසට හේතු ලෙස යොදා ගනිමින් ලාංකීය දේශපාලනයට අත පොවන්නට අවස්ථාවක් නව දිල්ලි ආණ්ඩුවට ලැබිණි. එහි පලයක් ලෙස 1987 ජූලියේ කොළඹදී අත්සන් තැබුණු ද්වී-පාර්ශවීය රාජ්‍ය ගිවිසුමට අනුව පළාත් සභා පිහිටුවීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජයවර්ධන ආණ්ඩුවට සිදු විය. ඒ ඉතිහාස කතාව ඉතා සංක්ෂිප්තව සටහන් කරන්නේ නම්, එළෙසය.

පාර්ලිමේන්තුව සතු වූ වගකීම් හා කාර්යන්ගෙන් ප්‍රාදේශීය වගකීම් හා කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්කර පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව බාර දෙන විට, 1977 ජූලි මැතිවරණයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු නියෝජනය වූයේ මන්ත්‍රීවරුන් 168 කි. තවත් පැහැදිලි කරන්නේ නම්, 1977 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 168 ට බාර දෙනු ලැබූ වගකීම් වලින් පළාත් හා ප්‍රාදේශීය සංවර්ධන කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී ඔවුන්ගෙන් ඉවත්කර ගනු ලැබිණ. එනිසා ඉතිරි වූ ජාතික හා විදේශ ප්‍රතිපත්ති සැකසීම, මුදල් නෝට්ටු මුද්‍රණය හා මහ බැංකුව සමග ගනුදෙනුව වැනි ජාතික හා ජාත්‍යන්තර වගකීම් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 168 ක විශාල පාර්ලිමේන්තුවක් තව දුරටත් අවශ්‍ය නොවීය. ඉතිරි වූ වගකීම් සඳහා එවැනි විශාල පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම මහජන මුදල් නාස්තියක් විය.

පළාත් සභා පිහිටුවීමේදී එය එළෙසින් සමාජ සංවාදයට ගනු ලැබුවේ නැත. එබැවින් තවදුරටත් මන්ත්‍රීවරුන් 168 ක් අවශ්‍ය නොවුනු පාර්ලිමේන්තුවකින් තවදුරටත් බාර නොවුනු වගකීම් සඳහාද ජනතා මුදල් වැය කළා පමණක් නොව, 1989 පෙබරවාරි මැතිවරණය වනවිට ඒ පාර්ලිමේන්තුව තවත් විශාල කිරීමට අපි ඔවුන්ටම ඉඩ දුන්නෙමු. එබැවින් මන්ත්‍රීවරුන් 225 ක් සමගින් අප දැන් නඩත්තු කරන්නේ අනවශ්‍ය තරම් විශාල, යෝධ සුදු ඇතෙකි.

එහි ඇති විකෘතිය දැකිය හැක්කේ ඉන්දියානු හර්යානා ප්‍රාන්ත ආණ්ඩුව හා සැසඳීමෙනි. අපගේ සමස්ථ ජනගහනය මිලියන 22 ක් වන විට, හර්යානා ප්‍රාන්තයේ වත්මන් ජනගහනය මිලියන 28.6 කි. මේ මිලියන 28.6 ක ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සහ අනාගත සංවර්ධන කාර්යන් සතු වගකීම් පවරා ඇති හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට, ඔවුහු මන්ත්‍රීවරුන් 90 ක් ඡන්දයෙන් පත් කරති. ජාතික මට්ටමේ ඉතිරි වගකීම් හා ප්‍රතිපත්ති සකස් කෙරෙන මධ්‍යම ආණ්ඩුවෙහි ව්‍යවස්ථාදායකය වන ලොක් සභාවට නොහොත් ඉන්දීය පාර්ලිමේන්තුවට ඔවුන් තෝරා පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. වගකීම් පැවරීමේදී ඔවුන්ගේ ගණන් හැදීමට අනුව හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවකගේ ජාතික මට්ටමේ වගකීම් වෙනුවෙන් ඔවුන්ව ලොක් සභාවෙහි නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් 10 කු සිටීම ප්‍රමාණවත් ය. 

ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. 

මේ ගණන් නිකමට බැලුවත් අපගේ පාර්ලිමේන්තු නියෝජනය මහා විකෘතියති. මිලියන 22 ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 කි. ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. අපේ පාර්ලිමේන්තු නියෝජනය මන්ත්‍රීවරුන් 168 ක සිට අප 225 දක්වා විශාල කෙරුවේ, එය 1988 න් පසු තව කුඩා කළ යුතුව තිබියදී ය. එබැවින් මේ පාර්ලිමේන්තුව දැන් “සුදු ඇත් රාජයෙකි”. එහෙත් ඒ ගැන අපි එළෙසින් කතා නොකරන්නෙමු.

මේ “සුදු ඇත් රජා” දෙස නොබලා අප කතා කරන්නේ පළාත් සභා “සුදු අලියා” ගැන පමණි. සැබෑය. එයද අනවශ්‍ය මන්ත්‍රී සභිකයින් සංඛ්‍යාවක් පත් කරන්නාවූ ආයතනයකි. මිලියන 22 ක ජනතාවක් වෙනුවෙන් රට පුරා පළාත් සභා 09 ට අපි පළාත් සභිකයින් 455 ක් පත්කර ගනිමු. හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවට ඇති ප්‍රාන්ත සභාවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 90 කි. මෙවායේ ඇති වෙනස බරපතල වෙනසකි.

ඒ නියෝජන දෙස අප බැලිය යුත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු යතාර්ථවාදී තර්කනයකින් තොරව දෙගුණ කළ පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාවද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් ඇති විකෘති නියෝජනය සමගින් එකට තබාය. පසුගිය 2018 පෙරවාරියේ සිට අපි ප්‍රාදේශීය, නගර හා මහ නගර සභාවල මන්ත්‍රී සභිකයින් 8,327 ක් නඩත්තු කරන්නෙමු. ඔවුන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක දීමනාවක් සමගින් රුපියල් 20,000 ක් පමණ වන මාසික වියදමක් අපි දරන්නෙමු. එය වසරකට රුපියල් මිලියන 1,998.5 කි. ඒ පළාත් පාලන ආයතන කාර්යාල 340 ක නඩත්තුව නොමැතිව ය. ඊට පෙර 2011 සිට අප පළාත් පාලන ආයතනවල නඩත්තු කෙරුවේ 4,500 ක පමණ මන්ත්‍රී සභික සංඛ්‍යාවකි.         

මෙවැනි බරවා රෝග නියෝජන මගින් ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තහවුරු වන්නේ ජනතා නියෝජනය සඳහා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමෙන් නොවේ. එය තීන්දු වන්නේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සඳහා ආයතනික ව්‍යුහයෙහි කෙතරම් ඉඩ තබන්නේද යන්න අනුවය. මැතිවරණ දෙකක් අතර, අවුරුදු 05 ක කාලයක් ඡන්දදායකයෙකු වශයෙන් රටවැසියා නිශ්ක්‍රීයව තැබෙන නියෝජිත ආයතන ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව කෙතරම් වැඩි කළද ප්‍රජාතන්ත්‍රවාදයෙහි වැඩිවීමක් ඇති වන්නේ නැත. එවැනි ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරිමෙන් සිදු වන්නේ නාස්තිය සමග දූෂණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව හැකිලීම පමණි. දැන් සිදුවෙමින් ඇත්තේ එය ය.

අප පිළිගත යුතු ඇත්ත කතාව නම්, වරද ඇත්තේ සංකල්පීය වශයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතුව නොවේ. වරද ඇත්තේ ඒවා ව්‍යුහගතකර ඇති ආකාරයෙහි ය. ඒවා පත් කළ පසු ඒවායේ කාර්ය නියාමනයට විවිධ කමිටු සඳහා පත් වන්නේද ඔවුන්මය. ඔවුන්ගේ තීන්දු තීරණ ගැනීම්වලට ව්‍යවස්ථානුකූලව මැදිහත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අවසරයක් ඔවුන්ව තම නියෝජිතයින් ලෙස තෝරා පත් කළ ජනතාවට ඇත්තේ නැත. ඒ සඳහා ඉතාම නිරුවත් උදාහරණය වන්නේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල නියෝජන සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ගනු ලැබූ තීන්දු ය.

පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ජාතික ලැයිස්තුවක්ද පාර්ලිමේන්තු නියෝජනයට එකතු කරමින් ජනතා නියෝජනයට ලොකු වෙනසක් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසීමේ සදාචාරමය පැවැත්මක් පාර්ලිමේන්තුව සතුව තිබිය යුතු විය. පාර්ලිමේන්තු නියෝජනයේ වෙනසක් කිරීමේදී හෝ ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිගැනීමක් ඒවායේ නැත. පසුගිය වර පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව දෙගුණ කෙරුණේද එළෙසින්ම ය.

එබැවින් විසඳුම ඇත්තේ මේවා සුදු අලි, සුදු ඇතුන් යැයි හංවඩු ගසා අහෝසි කිරීමට යෝජනා කිරීමෙහි නොවේ. විසඳුම ඇත්තේ (1) ජනතා නියෝජනය සඳහා අවශ්‍ය නියමිත හා නිවැරදි නියෝජිත සංඛ්‍යාව තබා ගෙන වැඩි ප්‍රමාණය ඉවත් කිරීමෙහි සහ (2) නියෝජන සභා ලෙස ඒවා ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ය.

එය අනවශ්‍ය විශාල මන්ත්‍රී සංඛ්‍යා අඩු කිරීමකි. දැනට සමාජය දරන්නාවූ අනවශ්‍ය අධි වියදම් කප්පාදු කිරීමට උදව් වනවාට අමතරව, මැතිවරණ අතරතුර ජනතා නියාමනයට යටත් කෙරෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක්ද සහතික කිරීමකි. 

ඒ ක්‍රියාවලිය ඉතාම සැකෙවින් පැහැදිලි කරන්නේ නම්, 

පාර්ලිමේන්තුව සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමේදී

1. පාර්ලිමේන්තු ආසන සඳහා නාමයෝජනා ලබා දීමේදී අපේක්ෂකයින් තෝරා නම් කළ යුත්තේ පක්ෂ ව්‍යවස්ථාවලට අනුව ඇති අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය. එය කාරණා දෙකකට වැදගත්ය. එකක් දේශපාලන පක්ෂ එමගින් යම් පමණකට ප්‍රජාතන්ත්‍රීය වන්නේය. දෙවැන්න පිටතින් අපේක්ෂකයින් පැමිණීම සීමා වන්නේය.

2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් තෝරා පත් කළ ජනතතාවගේ විශ්වාසය හා නියෝජනය පාවා දෙන්නේ යැයි අලුත් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඒ මැතිවරණ ආසනයේ ඡන්දදායකයින්ගෙන් සියයට 02 ක් ලිඛිතව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියහොත් ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබිය යුතුය.

3. නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කළ පසු, නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ අවුරුදු 05 ක ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම, පළමුව ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. යම් හෙයකින් එසේ සම්මත නොවුනහොත් ජනමත විචාරණයේදී එයට ඉදිරිපත් කෙරුණු විවේචන, විරෝධතා අනුව සාංශෝධනය කෙරුණු ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම ජනතා විමසුමට යටත් කෙරෙන ලෙස ගැසට් කිරීමෙන් දෙසතියකට පසු පාර්ලිමේන්තුවෙහි බහුතර ඡන්දයකින් සම්මත කරගත යුතුය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන සෘජු සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභා ලෙස අලුතික් ප්‍රතිව්‍යුහගත කළ යුතු ය. ඒ වෙනුවෙන්,

01. පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා දිය යුත්තේ පක්ෂවල අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය.

02. පාර්ලිමේන්තුවෙහිදී මෙන් පළාත් සභාවෙහි හා පළාත් පාලන ආයතනහෙි පළමු සැසි වාරය ආරම්භයේදී බලය ලබා ගත් පක්ෂයේ මහ ඇමති සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඔවුන්ගේ ධූර කාලය සඳහා වන සංවර්ධන සැළැස්ම පළමුව තම බල ප්‍රදේශයේ ජනතාව හමුවේ තැබිය යුතුය. එම සැළසුම් සඳහා සංශෝධන හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ බල ප්‍රදේශයේ ඡන්දදායකයාට ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය. පළාත් සභාවක නම් දිස්ත්‍රික්කයකට බලපාන්නාවූ කාරණාවකදී එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 5.000 ගේ හෝ පළාතටම බලපාන්නාවූ කාරණාවක් සඳහා නම් පළාතේ ඡන්දදායකයින් 10.000 ගේ අත්සනින් එවැනි සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කළ විට. සංවර්ධන සැළසුම සම්මත කළ යුත්තේ ඒවාද ඇතුළත්වය.

පළාත් පාලන ආයතන සඳහාද එම පිළිවෙතම. ඒවාට අත්සන් තැබිය යුතු ඡන්දදායක සාඛ්‍යාව දහසකට පමණ සීමා කරමින් ක්‍රියාත්මක කළ යුතු ය.

03. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය. කලින් අවුරුද්දේ අයවැය පිළිබඳ සවිස්තරාත්මක ඇගයුමක් සමගින් අදාල බල ප්‍රදේශයේ ජනතාව හමුවේ ඔවුන්ගේ නිරීක්ෂණ හා යෝජනා වෙනුවෙන් තැබිය යුතුය. ඔවුන්ගේ සංවර්ධන සැළැස්මට සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කරන්නාවූ පිළිවෙතම. වාර්ෂික අයවැය සම්මත කිරීමේදීද පැවතිය යුතුය. යම් හෙයකින් බලයේ ඉන්නා පක්ෂය එවැනි සංශෝධන හෝ යෝජනා බාර ගැනීමට සූදානම් නොවන්නේ නම්. ඔවුන්ගේ මුල් අයවැය අදාල ප්‍රදේශයේ ජනතාව හමුවේ ජනමත විචාරණයකට තැබිය යුතුය.  

සුදු අලි සහ සුදු ඇතුන් අඩු වියදමකින් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත් කළ හැක්කේද ඒවා ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආයතන බවට පත්කර ගත හැක්කේත් එළෙසින්ය. පළාත් සභා හුදෙක් උතුරු නැගෙනහිර ජනතාවට දෙනු ලැබූවක් මිස රටට පලක් නොමැති සුදු අලියෙක් යැයි කීම අනුවණ කමෙකි. නිදහසින් පසු අවුරුදු 72 ක් පුරා දකුණේ සිංහල -බෞද්ධ දේශපාලනය වෙනුවෙන් කොළඹ ආණ්ඩු පත් කිරීමෙන් දුප්පත් කමෙන් ගැලවෙන්නට බැරිව ඉන්නා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට තමන්ගේ ඉරණම තම අතට ගත හැකි අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභාවක් බවට පළාත් සභා පත්කර ගත හැකිය.  

එනිසා සංවාදයට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්නාවූ එවැනි ප්‍රතිසංස්කරණ මිස ආයතන අහෝසි කිරීම නොවේ.

කුසල් පෙරේරා

2020 අගෝස්තු 29 වන දින    

නැවත කියමි - “මෙහෙම යා නොහැක”

කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි.

කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත.

සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය වහා උපහාසයට ලක් කෙරුණි. රාජ්‍ය ඇමතිවරුන්ට පවරා ඇති වගකීම් හඳුන්වන්නට වූයේ කඬේ යෑමට හැදූ බඩු ලැයිස්තු ලෙසිනි. ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් වැඩියෙන් උපහාසයට ලක් විය. අලුත් තාක්ෂණික මෙවලම් ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතය සතු නිදහස සමග ඊට ගොඩවන අයගේ හැදියාව සහ දැනුම ඉන් මැනවින් දිස් වන්නේය. “සමාජ මාධ්‍ය ජාල” යැයි හැඳින්වුනද, ඒවායේ පුද්ගල කේන්ද්‍රීය භාවිතයෙහි සමාජ වගකීමක් ඇත්තේ නැත. ඒවාට ගොඩවන අති බහුතරයක් සමාජ මධ්‍යයක තිබිය යුතු සමාජ වගකීම ගැන දන්නේද නැත. සමාජ මාධ්‍ය ජාලාවන්හි නිතර දෙවේලේ සැරිසරණවුන්ට දැන් කෝවිඞ්-19 වසංගතය අමතක වූ විෂයකි. එනිසා ඒ මැදිහත්වීම් කිසිවක කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් මුදා හැරි අර්බූද ඉල්ලා සිටින නව අනාගතයක් සඳහාවන අලුත් සාමුහික සංවාදයක් ඇත්තේ නැත.

විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික - වාර්ගික භේද වැනි ඛේදවාචක ය.

කෝවිඞ්-19 විසින් මේ සමාජය අවුරුදු 40 ට වැඩි කාලයක් පුරා ගෝලීය නව ලිබරල් වෙළඳපල ආර්ථිකයට ගැට ගසා තිබූ සියලු බැඳීම් ක්ෂණිකව කඩා දමනු ලැබිණ. මහා සාගරයේ රුවල අහිමි වූ පාරුවක් මෙන් අපි දැන් අතරමංව සිටිමු. ගෙවුනු අවුරුදු 40 ට වැඩි කාලයේ නව ලිබරල් ආර්ථිකය විසින් අපව කොටුකර ඇත්තේ කොළඹ කේන්ද්‍රීය වෙළඳපළකට ය. ඒ මුලු කාලය පුරා ගම අතහැර දමා තිබිණ. ආදායම් හා වත්කම් විෂමතා බරපතල ලෙස වර්ධනය විය. ඒ සමග විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික - වාර්ගික භේද වැනි ඛේදවාචක ය. විවෘත වෙළඳපල සමගින් හැදූ මේ සමාජය මිථ්‍යාවෙන් පිරි අතිශය ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයකි.   

මේ සියලු සාදාචාරත්මක හා බුද්ධිමය පිරිහීම් විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගැනීමේ උකස් හා කල් බදු ක්‍රම, ක්‍රෙඩිට් කාඞ් පත් හා ණය වාරික මත හදා ඇති හිස් පාරිභෝගික තරගකාරිත්වය විසින් වසන්කර ඇත. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජය සමස්ථයක් ලෙස බිඳ වැටුනද, එය පවත්වා ගෙන යාමට අවශ්‍ය මතවාදය හැදුවේ, එහි හවුල්කාර පාර්ශවයන් වන වෘත්තිකයින්, උසස් නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පැත්තකින් තබා, සියලු වගකීම් දේශපාලකයින් මත පැටවීමෙනි. එනිසා එය පිරිසිදු කළ හැකි යැයි නාගරික මැද පංතික උගතුන් සූත්තර ගෙතූහ. අවංක උගතුන් පාර්ලිමේන්තු යැවීමට දේශන පැවැත්වූහ. දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් මගින් සමාජය යළි ගොඩ ගත හැකි යැයි දේශපාලනයක් සමාජය හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග හවුල් වූ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් හැලුණු නාගරික කණ්ඩායම් ය. ලොව කොතැනකවත් කාටවත් පිරිසිදු කළ නොහැකි වූ සහ අශීලාචාර විවෘත වෙළඳපල ආර්ථික පැවැත්ම සාධාරණය කිරීමට හා ඊට සුජාත බවක් දීමට ඔවුන් සෘජුව දායකවන බව හෝ ඔවුන් දන්නේ නැත.

අද අප ඉන්නේ මැහුම් දමා, පැලැස්තර අලවා රෝගී ආයු කාලය තව ටික කලක් හෝ ඇදගෙන යා හැකි අවදියක නොවේ. කෝවිඞ්-19 විසින් අප හමුවේ තේරීම් දෙකක් තබා ඇත. විශ්ව කීර්තියට පත්ව ඉන්නා ඉන්දීය නවකතාකාරිනියක් මෙන්ම විකල්ප ධාරාවේ බුද්ධිමය සමාජ ක්‍රියාකාරිනියක්ද වන අරුන්දති රෝයි කෝවිඞ්-19 න් ඉතිරි කළ අර්බූද ගැන පසුගිය අප්‍රේල් මාසයේදී කියා තිබුණේ, ඓතිහාසිකව ගෝලීය වසංගත විසින් මිනිසාට තම අතීතයෙන් ගැලවී ලෝකය දෙස අලුතින් බලන්නට අවසථාවක් ලබා දෙන්නේ යැයි කියා ය. ඒ කතාව ඇය පැහැදිලිකර තිබූයේ “අපට ඒ හරහා, අපගේ පක්ෂග්‍රාහීත්වයේ, වෛරයේ මළ කඳන්, ධනයට ඇති අපගේ කෑදරකම්, අපගේ දත්ත බැංකු සහ මියගිය අදහස්, මිය ඇදුණු ගංගා, දුම් බැඳුණු අහස අප පසුපසින් ඇද ගෙන යා හැකිය. එසේත් නැතිනම්, වැඩි බරක් නැතිව, වෙනත් ලෝකයක් ගැන සිතන්නට අපට සැහැල්ලු ගමනක් යා හැකිය. එය දිනා ගැනීමට සූදානම් විය හැකිය” යනුවෙනි.

අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. 

සමාජ කතිකා හා මාධ්‍ය වාර්තා අනුව අප සූදානම් වෙමින් සිටින්නේ යෝධ බරක් ඇදගෙන යන්නට ය. අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. දේශපාලන පක්ෂ වලටද විකල්ප ගැන සිතන්නට හුරුවක් හා බුද්ධිමය සම්පත් නැත. ගෝලීය වශයෙන්ද පරිසරය හා මිනිස් ජීවිත විනාශ කරමින් ලාභ හා කොමිස් මුදල් කඳු ගැසූ යෝධ ව්‍යාපාරික මැදිහත්වීම් ඇත්තේද නව ලිබරල් ආර්ථිකය යළි පිළිසකර කර ගැනීම සඳහා ය.  

අපගේද අවුරුදු 40 ට වැඩි කලක ඉතිහාසය සාක්ෂි සමගින් ඉතිරිකර ඇත්තේ අශීලාචාර, අසංවර, ධනයට ගිජු සමාජයකි. ඒ මගින් ඔප්පුකර ඇත්තේ සමාජීය සංවර්ධනයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් ලැබිය නොහැකි බව ය. බරපතල ගැටළුව වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් හදා ඇති ජාවාරම්කාර දේශපාලනයෙහි ය. අතිශය කෑදර පාරිභෝගික සමාජයන්හි ඉදිරිය තීන්දු කිරීමේ බලය ඇත්තේ ඔවුන් අතය.

පශ්චාත් කෝවිඞ්-19 යුගය සඳහා වන තේරීම් ගැන “ද ඉන්ක්” (the.ink) නැමැති අන්තර්ජාල පුවත් අඩවිය සමග විශ්ව කීර්තියට පත්ව ඇති, විකල්ප මත දරණ බුද්ධිමතෙකු සේ පිළිගනු ලබන විද්වත් මහාචාර්ය (Laureate Professor) නොආම් චොම්ස්කි කළ දිගු සාකච්ඡාවේදී කියා තිබුණේ “අවුරුදු 40 ක් නව ලිබරල් ප්‍රහාරයට ලෝක ජනතාව ලක් කළ මේ අර්බූදයේ නියත නිර්මාණකරුවන් මේ ක්‍රියාදාමයට පාදක වූනු සියල්ලෙහි වඩා දරුණු ආකෘතියක් හැදීමට උත්සාහ කරති. කෙළවරක් නැතිව වෙහෙසෙති. එය වඩා තියුණු රහස්‍ය සෝදිසි කිරීම් හා දරුණු පාලනයක් සමගින් හැදෙන්නකි.” (අගෝස්තු 11 වන දින පළ කෙරුණකි) “අතීතය” අනාගතයට රැගෙන යාමේ උත්සාහය කෙළවර විය හැක්කේ එළෙසිනි. 

දුගඳ හමන, දුර්වර්ණ, දූෂිත අවුරුදු 40 ක අතීතය බිම දමා අලුත් ගමනක් ආරම්භ කිරීමට කෝවිඞ්-19 න් ලබා දුන් ඓතිහාසික අවසථාව අප බාර ගත යුතුව ඇත්තේ එබැවින්ය. ආණ්ඩුවේ දූෂණ සෙවීමේත්  මැතිවරණයේදී දුන් පොරොන්දුත් ඉටු කරන්නට යැයි ගෝසා කිරීමේ පැරණි විරෝධාකල්ප දේශපාලනයෙන් අලුත් ලොවක් ගැන අදහසක් හදා ගැනීමට අලුත් ගමන් යා නොහැකිය. දූෂණ සෙවිය හැකිය. එහෙත් මේ ක්‍රමයෙහි දූෂණ නතර කළ නොහැක. රාජපක්ෂලාගෙන් යහපාලනයට මාරුවීම ඔප්පු කෙරුවේ එය ය. දුන් පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් මේ ක්‍රමය ඇතුළත කිසිදු ආණ්ඩුවකට පොරොන්දු ඉටු කළ නොහැකිය. එයද යහපාලනයෙන් ඔප්පු කෙරුවකි. යහපාලනයක් වෙනුවෙන් පොරොන්දු දුන් නාගරික මැද පංතිකයින්ට සහ ජ.වි.පෙ ට මෙවර සිදුවූයේ අලුතින් පොරොන්දු දෙන්නටය.

ශීලාචාර, ශිෂ්ට අලුත් සමාජ නිර්මාණයක් සඳහා ගමන් ආරම්භ කළ හැක්කේ විෂය කරුණු දෙකක් වෙනුවෙන් අලුතින් සිදු කරන සමාජ මැදිහත්වීම් සමගින් ය. එක් විෂයක් වන්නේ පරිසරිය සුරැකීම ය. මේ ආණ්ඩුව තමන් බරපතල ආර්ථික අර්බූදයක කොටුව ඉන්නා බව පත් කෙරුණු ඇමති මණ්ඩලයට වඩා රාජ්‍ය අමාත්‍ය ලේඛනයෙන් පෙන්වන්නකි. ඉන් ගොඩ එන්නට අපනයනය සඳහා ජාතික නිෂ්පාදන දියුණු කිරීම ගැන කෙරෙන ආණ්ඩුවේ සැළසුම් විරහිත කතා මගින් කියනු ලබන්නේ පරිසරය කෙසේ වෙතත් නිෂ්පාදනය වැදගත් බවය. පරිසරයට අදාලව කටයුතු කළ හැකි රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඉන්නා විට, දූෂිත ආර්ථිකයක එයම පරිසර විනාශය සඳහාවන අවසර පත්‍රයකි.

එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” බවට පත්ව ඇති හෙයිනි. එබැවින් විල්පත්තු ගිය බොහෝ දෙන සිංහරාජයට නොයති. තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය. ඔවුහු එක ප්‍රශ්නයකට නඩුවක් පවරති. තවත් ප්‍රශ්නයකට විරෝධතාවක් පවත්වති. තවත් තැනක පරිසරය සුරැකීමේ පුහුණුවීම් වැඩසටහන් කරති. පරිසරය ගැන දන්නා අලුත් ඇමතිවරුන් එන තෙක් බලාපොරොත්තු තබති. මේ කිසිවකින් අවුරුදු 30 ට වැඩි කාලයක්, පැවති මට්ටමෙන් හෝ පරිසරය රැක ගැනීමට නොහැකිව ඇත. ඒ මන්දැයි එනමුත් පසු විපරමක් කෙරෙන්නේද නැත.

ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

පරිසරය සුරැකීමේ අනාගත විසඳුම ඇත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සමගින් ය. එය නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය. එවැන්නක් සැකසිය යුත්තේ වායු සමීකරණය කළ කාමර තුල නොවේ. එවැන්නක් සැකසිය යුත්තේ ජනතා ව්‍යාපාරයක් සමගින්ය. ජන සහභාගිත්වය ඇතිවය. ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය. පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ආණ්ඩුවකින් ඉල්ලා සිටිය යුත්තේ එවැනි ජාතික පරිසර ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන මෙන් ය. අනතුරුව පළාත් සභාවන්හිත් පළාත් පාලන ආයතන සියල්ලෙහිත් ඊට අනුකූලව ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්ති සකස් කරන මෙන් ඉල්ලීමට ය. කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.

අතිශය වැදගත් දෙවැනි විෂය කරුණ වන්නේ “සමාජ රක්ෂණය” සඳහා ප්‍රතිපත්තියක් සමාජගත කිරීම සමගින් ඊට අදාල වැඩ සටහනක් ක්‍රියාවට නංවා ගැනීම ය. එවැන්නක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි පැවතෙන්නේ ස්ථාවර, නිරෝගී සමාජ පැවැත්මක් වෙනුවෙනි. එවැනි සමාජ රක්ෂණයක් අපට අද වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් සඳහා අවශ්‍ය සමාජ ස්ථාවරත්වය වෙනුවෙනි.

සම්පූර්ණයෙන්ම මෙන් ගෝලීය වෙළඳපලෙන් යැපුණු අපට, එය කඩා වැටීම හේතුවෙන් අපගේ අපනයන නිෂ්පාදන සියල්ලට හිටි අඩියේ වෙළඳපලක් අහිමි විය. සංක්‍රමණික ශ්‍රමික ඉල්ලුමද දැන් අවම වී ඇත. ගුවන් සමාගම් විසින් ඔවුන්ගේ යානා නැවත ගුවන්ගත කෙරෙන දින වකවානු ගැන කිසිදු ගණන් හැදීමක් නොමැති ලෝකයක සංචාරක ව්‍යාපාරයකට පැවතිය නොහැක. අවිධිමත් ආර්ථිකය අඩකින් පමණ හැකිලී ඇත. අප මුහුණ දෙන්නේ ලක්ෂ ගණනින් රැකියා අහිමිවීමේ ආසන්න අනාගතයකට ය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල සමීක්ෂණයකට අනුව විධිමත් පෞද්ගලික අංශයේ පමණක් රැකියා ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අහිමි වන්නට ඉඩ ඇත. ඒ හා සමාන අනුමාන කිරීම් ව්‍යාපාරික ප්‍රධානීන්ද මාධ්‍ය සමග පවසා තිබිණ.

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයන්නට වාර්ෂිකව සමාජයට පැමිණෙන තරුණ සංඛ්‍යාවට අමතරව, මෙලෙසින් හදිසියේ රැකියා අහිමි වන්නට පටන් ගත් විට සමාජය බරපතල අස්ථාවර තත්ත්වයකට හසු වන්නේය. කෝවිඞ්-19 අර්බූදයෙන් රැකියා අහිමිවන අය විවිධ වගකීම් කර ගැසූවන් ය. ඔවුන්ට තම දරුවන්ගේ වගකීම්, වයෝවෘද්ධ තම දෙමාපියන්ගේ වගකීම්, ණය ගෙවීම් හා පවත්වාගෙන පැමිණි ජීවන රටාව නඩත්තු කර ගැනීමේ ගැටළු සමග විවිධ අසීරුකම් වලට මුහුණ දෙන්නට සිදුවන්නේය. 

ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය. 

මේ තත්ත්වයට මුහුණ දීමට දැනුම් තේරුම් ඇති වෘත්තීය සමිති නායකයින් අපේ රටේ ඇත්තේ නැති තරම් ය. ඔවුන් දන්නා යල් පිනූ භාවිතය මත විරෝධතා සංවිධානය කිරීමෙන්, පිකට් කිරීමෙන්, පෙළපාලි යාමෙන් ලක්ෂ ගණන් රැකියා බේරා ගැනීමට නොහැක. ආණ්ඩුවකටද මේ පිරිස් සඳහා අලුතින් රැකියා උත්පාදනයකට හැකියාවක් නැත. එහෙත් ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.

එවැන්නක් වෙනුවෙන් මූලික යෝජනා දෙකක් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය මැතිවරණයට පෙර කම්කරු ඇමති වෙත ඉදිරිපත් කරනු ලැබිණ. අනෙක් වෘත්තීය සමිති වෙතද ඔවුන් එය ඉදිරිපත් කර තිබිණ. ඔවුන් යෝජනා කර තිබූයේ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයින්ට සමාජ රැකවරණයක් ලෙස මාසික අවම දීමනාවක් ගෙවීමටද රැකියා ලැබෙන තෙක් කුසලතා වර්ධන වැඩපිළිවෙලක් සමග මාසික අවම විරැකියා දීමනාවක් ගෙවීමට ය.

මේ යෝජනා තව දියුණු කළ යුතුව ඇත. විශ්‍රාමිකයින්ගේ සමාජ රැකවරණය පෞද්ගලික අංශයට පමණක් නොව, විශ්‍රාම යෑමේ වයසට එළැඹෙන කෘෂි, ධීවර හා අවිධිමත් වැනි සියලු ක්ෂේත්‍රයන්හි සියල්ලන්ට හිමිවන ලෙස සැළසුම් කළ යුත්තකි. ඔවුන්ගේ සෞඛ්‍ය රැක බලා ගැනීමේ විශේෂ සේවා පහසුකම්ද එහි අඩංගු විය යුතුය. විරැකියා දීමනාව කෝවිඞ්-19 අර්බූදය හමුවේ රැකියා අහිමිවන සියල්ලන්ටද අදාල විය යුතුය. විරැකියාවෙන් සිටින කාලය තුල වැඩි දුර අධ්‍යාපනයට හා වෘත්තියාභිමුඛ කුසලතා වර්ධනයට පුහුණු වැඩසටහන් තිබිය යුතුය. ඔවුන්ට හා ඔවුන්ගෙන් යැපෙන අයටද අවශ්‍ය විටෙක ප්‍රතිකාර ගැනීමේ පහසුවද ඊට ඇතුළත් විය යුතුය.

ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ යෝජනාව සමග මේ සමාජ රක්ෂණ යෝජනාව සමාජ කතිකාවක් සමගින් ආණ්ඩුව හමුවේ තැබීමට පරිසර සංවිධාන, වෘත්තීය සමිති පමණක් නොව, සමාජයේ අනෙක් පාර්ශවද හවුල් විය යුතු ය. පරිසරය රැක ගැනීම පරිසරවේදීන්ට පමණක් පැවරෙන වගකීමක් නොවන්නකි. නගරයේ වායු දූෂණයට හා නාය යෑමට හසු වන්නේ පරිසරවේදීන්ම නොවේ. සමාජ රක්ෂණයකින් වාසි ලබන්නේ විශ්‍රාමිකයින් හා විරැකියාවෙන් සිටිනවුන් පමණක් නොවේ. ස්ථාවර සමාජයක වාසිය සියල්ලන්ට ඇති වාසියකි. එවැනි ස්ථාවර සාමකාමී සමාජයක පරිසරය සුරැකීමත් පහසු ය. එබැවින් මේ යෝජනා වෙනුවෙන් සක්‍රීය ජනතා ව්‍යාපාරයක් සමග දියුණු කතිකාවක අවශ්‍යතාව දැන් මග හැරිය නොහැක්කකි. කෝවිඞ්-19 විසින් අපට විවෘත කර ඇති වැදගත්ම තේරීම වන අලුත් ලෝකයක් වෙනුවෙන් ගමන් ඇරඹීම සඳහා වෙනත් මැදිහත්වීමක් අපට ඉතිරිව නැත. තව දුරටත් අශීලාචාර, අසංවර, දූෂිත සමාජයක් ලෙස පැවතිය නොහැකි බැවිනි.

කුසල් පෙරේරා

2020 අගෝස්තු 14 වන දින

අර්බූද වලට උත්තර සොයන්න වෙන්නේ ඡන්දයෙන් පසුව

 

Cartoon courtesy dailymirror.lk

අගෝස්තු 05 වන දින කවුරු කාට ඡන්දය දුන්නත් කෝවිඞ්-19 න් වඩාත් උග්‍ර කෙරුණ මේ රට හමුවේ ඇති බරපතල අර්බූද කිසිවකට කිසිදු විසඳුමක් නොලැබෙන බව මැතිවරණ ව්‍යාපාරය විසින්ම පෙන්නුම් කෙරුවකි. ගෝලීය නව ලිබරල් ආර්ථිකය විසින් ජාතික රාජ්‍ය දුර්වල කරමින් ඇති නැති පරතරය හැම රටකම වගා කළ අතිශයෙන් දූෂිත, අසාධාරණය හා අපරාධ පිරි ලෝකයක් බිහි කළ බැව් කෝවිඞ්-19 සමග දැන් ජාත්‍යන්තර සංවාදයන්හි පිළිගනු ලැබේ.

අපගේ වැනි රටවල එය ඉනුත් ඔබ්බට ගොසින් ඇති බැව් කෝවිඞ්-19 පෙන්වා දෙන්නකි. විවෘත වෙළඳපල ආර්ථිකය විසින් විනාශ කෙරුණු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයේ අවසන් ඉමට අපි පැමිණ ඇත්තෙමු. අපට ඉතිරිව ඇති එකම විසඳුම, නව සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනය පමණි.  “තිත්ත දේශපාලනයට ඇත්ත මිනිසුන්” තෝරා පත් කරන්න යැයි මැතිවරණ සමයේ කෙරුණු ජනප්‍රිය ඉල්ලීම මම උපහාසාත්මකව කෙටියෙන් අර්ථ දැක්වූයේ “කුණු කන්දක් රතු කොඩි වලින් සරසන්න” යැයි කරන ඉල්ලීමක් වැනි යැයි කීමෙනි. ඒ ඉල්ලීම, කුණු කන්ද ඉවත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් සමග ඉදිරිපත් නොවුනු නිසාවෙනි.

යෝධ දූෂණ නැතිව පැවතිය නොහැකි උපතින්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි “අවංකත්වය” හා “දේශපාලන බලය” අතර ඇත්තේ ඉතා සියුම් බෙදුම් රේඛාවකි. දූෂිත වන්නට ආණ්ඩු පක්ෂයට අයත් වන්නටම අවශ්‍ය නැත. ඊට දේශපාලන බලය හා ගනුදෙනුවක් හදා ගැනීම ප්‍රමාණවත් ය. එබැවින් මේ කියන්නාවූ දූෂිත දේශපාලන ක්‍රමයෙහි අවංකයින් යැයි පුද්ගලයින් තෝරා පත් කිරීමට කොරෝනා වසංගතයේ ආසාදිතයින් සොයන්නාක් මෙන් පරීක්ෂණ සිදුකර සොයා ගත නොහැක. ආණඩු පාලනයට අත ගැසූ පසු අවංක දේශපාලනයක ඔවුන් නතර වන්නේද නැතිද යන්න පසුව හෙළිවන්නකි. එයට කල් තියා සහතික ලිවිය නොහැක.

උගත්කම මත බුද්ධිමතුන් තීන්දු කිරීමත් එවැනිමය. උගතුන් අධ්‍යාපන සහතික මත තීන්දු වන්නේ නැත. උගතුන් නියත වශයෙන් අවංකයින් වන්නේද නැත. ජයවර්ධන ජනාධිපතිද උගතෙකි. ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට හැම ඇමති මණ්ඩලයකම හැම පාර්ලිමේන්තුවකම උගතුන් ගේ අඩුවක් නොවුනි. ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඔක්ස්ෆඞ් උපාධිධාරීන්, අපේ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්, බැරිස්ටර්වරුන්, ජනාධිපති නීතිඥයින්, වෛද්‍ය වෘත්තිකයින්, මූල්‍ය කලමනාකරුවන්, මාධ්‍යවේදීන් ඕනෑ තරම් සිටියහ. පසුගිය පාර්ලිමේන්තුවේද එවැන්නන්ගේ අඩුවක් නොවුනි. එහෙත් හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට වඩා දූෂිත විය. අකාර්යක්ෂම විය.  

එනිසා තෝරා පත් කෙරුණු පාර්ලිමේන්තුවේ “ඇත්ත” මිනිසුන් සිටියත් දේශපාලනය “තිත්ත” දේශාපාලනයක්ම පමණක් වනු ඇත. “අලුත්” පාර්ලිමේන්තුවත් අලුත් මුහුණු සමග “පරණ” කසිකබල් දූෂිත දේශපාලනයේම ලගිනු ඇත. පාර්ලිමේන්තුවේ කෙතරම් දක්ෂ අලුත් කතිකයින් සිටියත් රටේ ආණ්ඩු පාලනය තීන්දු වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප වූයේ “ස්වාධීන” කොමිසම් වැදගැම්මකට නැති කොමිසම් යැයි ඔප්පු වන්නටත් කලියෙනි. සමාජය විසින් 19 ය ප්‍රතික්ෂේප කෙරුවේ පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයටත් බොහෝ කලින් ය. 19 යෙන් ජනාධිපති ධූරය විධායක බලයක් නොමැති “උත්සවාකාර” ධූරයක් බවට පත් කර ඇතැයි නාගරික මැදපංතිකයින් තර්ක කළද, බහුතර සිංහල-බෞද්ධ ජනතාවට එය අදාල නොවුනි. ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂටත් වඩා බලසම්පන්න ජනාධිපතිවරයෙකි.  

පසුගිය නොවැම්බරයේදී ඔවුන් ගෝඨාභය ජනාධිපති ලෙස තෝරා පත්කර ගත්තේ ඒ වෙනුවෙනි. ගෝඨාභය රාජපක්ෂට දෙනු ලැබූ ඡන්ද මිලියන 6.9 ය මුලුමනින්ම 19 ය උල්ලංඝණය කිරීමේ ඡන්දයකි. එපමණක්ම නොවේ. සජිත් ප්‍රේමදාස සමග අනෙක් ජනාධිපති අපේක්ෂකයින් ඡන්දය ඉල්ලා සිටියේද රටට වැඩක් කළ හැකි ජනාධිපතිවරයෙකු පත් කිරීම වෙනුවෙනි. එහිද “උත්සවාකාර ජනාධිපති” ධූරයක් ගැන කතාවක් නොවුනි. එබැවින් පසුගිය ජනාධිපතිවරණයේදී අවම තරමින් සියයට 94 ක් (ගෝඨාභය සියයට 52.25 යි. සජිත් සියයට 41.99 යි) ඡන්දය දෙනු ලැබූයේ 19 යේ සඳහන් උත්සවාකාර ජනාධිපතිවරයෙකුට නොව, ඊට ප්‍රතිවිරුද්ධ බලසම්පන්න ජනාධිපතිවරයෙකු සඳහාය. කෙටියෙන් කියන්නේ නම්, මේ රටේ මිනිසුන් කොළඹ මැදපංතිකයින්ගේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහමුලින් ප්‍රතික්ෂේපකර අවසන්ය. එනිසා ආණ්ඩු පාලනය තීන්දු වන්නේද එළෙසින්ම මිස පාර්ලිමේන්තුවේ “ඇත්ත” මිනිසුන්ගේ හවුලකින් නොවේ.

එයට ඉතා වැදගත් හේතු දෙකක් ඇත. පළමුවැන්න, මන්ත්‍රීවරුන් තමන්ගේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්දදායකයින් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් කරන්නේ නැත. ඔවුන් දේශපාලනය වෙනුවට ඡන්දදායකයා සමග තබා ගන්නේ පුද්ගලවාදී සම්බන්ධයකි. එය මළ ගෙවල් මගුල් ගෙවල් වල සිට පත්වීම්, ස්ථාන මාරුවීම්, උසස්වීම්, නීතියට අත ගසා හිතවතුන් නිදහස් කර ගැනීම, විවිධ බලපත්‍ර නිකුත් කිරීම වැනි අනවශ්‍ය සහ දූෂිත කාර්යන් හරහා නඩත්තු කෙරෙන්නකි. දෙවැන්න, ඒ පසුබිමෙහි ඡන්දදායකයා හුරු වී ඇති අදේශපාලනික පැවැත්මය. මේ රටේ දේශපාලන ක්‍රියාකාරිත්වයක් සඳහා ජනතාව අවදි වූයේ මැතිවරණයක් සඳහා වන ගෝසා සමගින් පමණි. මැතිවරණ දෙකක් අතර කාලයේ ජනතාව සමාජීය දේශපාලන සංවාද අත හැර, ණය ගෙවීමට, තව ණය වීමට විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හතිලමින් තම කාලය ගත කරති. මෙවර මැතිවරණයද ඊට වෙනස් නැත. මෙවරද මැතිවරණය තීන්දු කෙරෙන්නේ පෞද්ගලික අවලාද, මඩ ගැසීම්, ජාතිවාදී ප්‍රකාශ සහ විසඳුම් නැති මහ පරිමාන දූෂණ ගැන කෙරෙන කතා සමගින් පමණි.    

කෝවිඞ්-19 ගෝලීය වසංගතය සමග ඉතා සීඝ්‍රයෙන් මේ සමාජය වෙලා ගන්නා සමාජ ආර්ථික අර්බූද වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විසඳුම් වෙත කිසිදු අවධානයක් එහි නැත. මේ මැතිවරණ ව්‍යාපාරය අවසන් කෙරුණේද සිල්ලර, සුපුරුදු දේශපාලනයෙනි. මැතිවරණ සමයේ නොයෙකුත් ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලයන්හි “ආතල්” ගත් පිරිස්ද මැතිවරණයෙන් පසු වෙනත් සිල්ලර කතාවල නතර වනු ඇත. නාගරික මැදපංතිකයින් තටු ගැලවෙන ඔවුන්ගේ අපේක්ෂාවන් සමග මැසිවිලි නගමින් ඊළග මැතිවරණය තෙක් කල් මරණු ඇත. 

මෙවර මැතිවරණයෙන් පසු ඉතිරි වන්නේ අතිශය අවිනිශ්චිත කාලයකි. එය දේශපාලන නායකයින්ට පමණක් නොව, ඔවුන් වටා රොක්වූ පණ්ඩිතමානි උගතුන්ටද තේරුම් නොතිබුණි. පසුගිය අවුරුදු 15 ට ආසන්න කාලයක රාජපක්ෂ පාලනයත් සිරිසේන-වික්‍රමසිංහ දෙපළගේ යහපාලනයත් ගොඩ ගසා ඇති සමස්ථ ණය කන්දරාව රුපියල් බිලියන 2,000 කි. ඒ වෙනුවෙන් ගෙවීම් සඳහා වසරකට ඩොලර බිලියන 05 ක් පමණ අවශ්‍ය වන්නේ යැයි සඳහන් වේ.

එවැනි යෝධ ණය කන්දරාවක් කර ගැසූ අර්බූදයක සිටියදී කෝවිඞ්-19 සමග ගෝලීය වෙළඳපල බිඳ දැමූ, සැපයුම් ජාල අවුල්කර දැමූ සමාජ ආර්ථික අර්බූදයට අපද බරපතල ලෙස හසුව ඇත. කෝවිඞ්-19 වසංගතය ගෝලීය තර්ජනයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගැනීමත් සමග ලොව දියුණු ආර්ථික නියෝජනය කරන්නාවූ රටවල් 36 ක් ඉන්නා “ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහාවන සංවිධානය” (OECD) පසුගිය මාර්තු 02 වන දින කියූවේ ගෝලීය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 2.9 ක් යැයි කලින් ගණන් බලා තිබුණද එය කෝවිඞ්-19 හේතුවෙන් සියයට 1.5 ට පහත වැටිය හැකි බවය. එය මීට දසකයකට ඉහතින් ගෝලීය ආර්ථිකය හසුවූ බිඳ වැටීමට වඩා දරුණු බිඳ වැටීමකට හේතුවන බව ඔවුහු කීහ. ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ප්‍රධානී රොබෙර්තෝ අසෙවේදෝ කෝවිඞ්-19 න් පසු ඉදිරිය ගැන කියුවේ, “ගෝලීය ආර්ථිකයට ඇති විය හැකි බලෑමත් බරපතල් විය හැක. එය ඉදිරි සති වලදී වෙළඳපල දත්ත වලින් බලා ගත හැකිවනු ඇත” යනුවෙනි.

ඊට තෙමසකට පසු මෙරට ඇඟළුම් නිෂ්පාදකයින්ගේ ඒකාබද්ධ සංධානයේ (JAAF) සභාපති ආරුමුගපිල්ලේ සුකුමාරන් පසුගිය ජුනි 18 වන දින ඉංග්‍රීසි පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණේ “සියලු සාධක ගත්විට, ගෝලීය ඇඟළුම් වෙළඳපල කෝවිඞ්-19 න් පසු පෙර පැවතියාට වඩා කුඩා වනු ඇත. එය අප සැවොම පිළිගත යුතු යතාර්ථය වන්නේය. ඒ අභියෝගයට අප මුහුණ දිය යුතුය” යනුවෙනි. එම සාකච්ඡාවෙහිදී ඔහු අවධාරණය කර තිබූයේ ගෝලීය ඇඟළුම් වෙළඳපල හැකිලීම හේතුවෙන් මෙරට රැකියා 80,000 ක් 100,000 ක් පමණ අහිමි විය හැකි බවය.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සුභසාධනය හා සේවක අයිතීන් වෙනුවෙන් වගකිව යුතු කම්කරු දෙපාර්තමේන්තුව ඉකුත් මැයි මාසයේ “කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායට ඇති කරන්නාවූ බලපැම” පිළිබඳව විද්‍යුත් සමීක්ෂණයක් කර ඇත. කිසිදු ප්‍රසිද්ධියක් නොදුන් එම සමීක්ෂණ වාර්තාවෙන් කියන්නේ විධිමත් පෞද්ගලික අංශයේ තත්ත්වය මෙලෙසින් පැවතුනහොත් ඉදිරි කෙටි කාලයේ රැකියා 300,000 ක් හෝ ඇතැම් විට ඊටත් වැඩි සංඛ්‍යාවක් අහෝසිවන බවය. එනිසා ශ්‍රී ලංකාවේ විරැකියාව සැළකිය යුතු අන්දමින් ඉහළ යන බවත් එහි සඳහන්ය. (http://www.labourdept.gov.lk/images/PDF_upload/notices/survey%20report%202020.pdf)

අපනයන නිෂ්පාදනය හා ඉන් ලැබෙන ආදායම කඩා වැටීමට අමතරව, සංක්‍රමණික ශ්‍රමිකයින් උපයා දුන් විදේශ විනිමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් අහිමිවීමත් අපේ ආර්ථිකයට ඔරොත්තු නොදෙනු ඇත. ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයට අනුව 2019 දී සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර මිලියන 6,700 කි. එය අපගේ ආනයන අපනයන වෙළඳ ශේෂයෙන් සියයට 84 ක් පියවීමට ප්‍රමාණවත් විය. කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයට අනුව, “දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 08 ක් 09 ක් පමණ වූ සංක්‍රමණික ශ්‍රමිකයින් උපයා දුන් විදේශ විනිමය විශාල වශයෙන් අඩු වන්නේය. සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් ඒ රටවල තිබූ ඉල්ලුම අඩුවීමත් සමග නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

එහි අනෙක් තේරුම වන්නේ, ඉදිරියේදී සංක්‍රමණික ශ්‍රමිකයින් ලෙස රටින් පිටවීමට බලාපොරොත්තු වූ පිරිසට ඒ රැකියාවල් අහිමි වන බවය. විදේශ සේවා කාර්යාංශය හරහා වසරකට 70,000 ක් 80,000 ක් පමණ විදේශගතවන ගෘහ සේවිකාවන්ට එසේ යාමට ඇති අවකාශය බරපතල ලෙස ඇහිරෙනු ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයට අනුව, පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අර්බූදයට ගොස් තිබූ සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට නොහැකිය. එය තව දුරටත් සනාථ වන්නේ ගුවන් ගමන් බරපතල ලෙස සීමාවී තිබෙන බැවින්ය. ලොව පුරා හැම රටක්ම විදේශ ගමන් බිමන් සීමාකර ඇති පසුබිමක ගුවන් ගමන් නුදුරු දිනෙක යථා තත්ත්වයට පත්වීමේ කිසිදු ඉඩක් නැත.   

මෙය හුදෙක් ආර්ථිකයට සීමාවන අර්බූදයක් නොවන්නකි. එහි බරපතල සමාජීය බලපෑමක් ඇත. රැකියා අහිමිවන දහස් ගණන් නැවත ඔවුන්ගේ ගම් ප්‍රදේශ වලට ගාල් වනු ඇත. නැවත පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයින් නතර වන්නේද ඒ ගම් ප්‍රදේශ වලම ය. සංක්‍රමණික රැකියා සඳහා යාමට සූදානම් වූ දහස් ගණනද කොටු වන්නේ ඒ ගම් ප්‍රදේශ වලම ය. අවිධිමත් ආර්ථිකය හැකිලීමේ බර දැරිය යුතු වන්නේද මේ දුප්පත් ග්‍රාමීය සමාජයම ය. ඒ ග්‍රාමීය ප්‍රදේශ අවුරුදු 40 ක් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පලදායි ආර්ථිකයක් නොමැතිව අතහැර දමා තිබූ ප්‍රදේශ ය. එනිසා ග්‍රාමීය සමාජයට මේ බර කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත.

එවැනි අර්බූදයක ආර්ථික හා පාරිසරික ඉල්ලීම් මත තැන තැන උද්ඝෝෂණ තිබිය හැක. ඒවායේ “ඇත්ත” මිනිසුන්ද සිටිය හැක. ඔවුන් මාධ්‍ය සඳහා ප්‍රකාශද කරනු ඇත. ඒ අතර, මර්දනය වඩ වඩාත් දැඩි විය හැක. එසේ වන්නේද “ජනතාව” වෙනුවෙනි. ජනතාව ලබා දුන් වරම මත, රට ගොඩ නැගීමට, සංවර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි යැයි කියනු ඇත. එය එසේ පිළිගන්නා සිංහල-බෞද්ධ බහුතරයක්ද සිටිනු ඇත. ආණ්ඩුව කියන දේ එළෙසින් පිළිගැනෙන්නේ විකල්ප නොමැති සමාජයන්හි පමණය.

උපතින්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය පිරිසිදු කිරීමට දෙන පොරොන්දු මතින් මේ කිසිවකට විසඳුම් ලබා දිය නොහැක. මේ සියල්ලට විසඳුම් සෙවිය හැක්කේ ජාතික රාජ්‍ය කාර්යක්ෂම, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් බවට පත් කිරීම සඳහාත් දේශගුණික විපරියාස වලින් වැළකීමට පරිසරය සුරක්ෂාකර ගැනීම සඳහාත් දිගින් දිගටම ඉහළ යන වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතාව සමාජ සාධාරණත්වය සඳහා තුනී කිරීම සඳහාත් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් බැහැර විකල්ප ජාතික සංවර්ධන වැඩපිළිවෙලකින් පමණය. ඒ සඳහා ඊළඟ මැතිවරණය එන තෙක් මේ සමාජයට බලා සිටිය නොහැක. එය මැතිවරණයෙන් පසු වහා ආරම්භ කළ යුතු සමාජ කතිකාවක් විය යුතුය. මේ සමාජය වෙළා ගෙන ඇති ආත්මාර්ථය, දූෂණය, අශීලාචාරය, අපරාධ සියල්ලට උත්තර සෙවිය හැක්කේත් ශිෂ්ට සම්පන්න අනාගතයකට පය තැබිය හැක්කේත් එවැනි ජාතික සංවර්ධන සැළැස්මක් ජන සහභාගිත්වයක් ඇතිව ක්‍රියාත්මක කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සමගින් පමණි. ඉන් මෙපිට කෙටි මාවත් නැති බවත් අවධාරණය කළ යුතුය. බාර ගන්නේ නම්, මැතිවරණයෙන් පසු ඉතිරිවන මාවත එය ය.

කුසල් පෙරේරා

2020 අගෝස්තු 03 වන දින

“කෘතිම බුද්ධිය” සමග අපි යන්නෙ කොහේටද?

“කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ. ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ. “කෘතිම බුද්ධිය” සම්බන්ධ අදහස අවුරුදු ද...