Saturday, October 24, 2026

“කෘතිම බුද්ධිය” සමග අපි යන්නෙ කොහේටද?

“කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ. ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ. “කෘතිම බුද්ධිය” සම්බන්ධ අදහස අවුරුදු දහසකටත් වඩා පැරණි, නැගෙනහිර යුරෝපීය නගරවල කතා වූ අදහසකි. එය “කෘතිම මිනිසකු” හදන්නට හැකිදැයි වූ අතීත සංවාද තුල නිර්මාණය වූවකි. වර්තමානයේ දියුණු රටවල ශ්‍රමිකයින් ගේ වැඩ සඳහා යොදා ගන්නා “රොබොට්” (Robot) යැයි හඳුන්වන යන්ත්‍ර ගැන කතාද එදා තිබී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු 1955 දී විද්‍යාඥයින් අතර තිබූ වැඩමුළුවකදී ඇමෙරිකානු පරිඝණක හා ඥාණන විද්‍යාඥයෙකු වූ ජෝන් මැක්කාති පළමු වරට Artificial Intelligence (කෘතිම බුද්ධිය) යන යෙදුම  හඳුන්වා දෙනු ලැබූවකි. “කෘතිම බුද්ධිය” සංකල්පමය වශයෙන් පමණක් නොව, පරිඝණක මෘදුකාංග භාවිතයෙහිද ජනප්‍රිය වූයේ “ගැඹුරු අධ්‍යනය” (Deep Learning) යැයි තොරතුරු ජාලගත කිරීමේ සංකීර්ණ සංකල්පයක් 2012 දී මෘදුකාංග ගොනුවක් ලෙස තොරතුරු තාක්ෂණයට එකතු කෙරුණු පසුව ය.   

එතැන් සිට ප්‍රධාන වශයෙන් ගූගල් සහ ඇපල් සමාගම් “කෘතිම බුද්ධි” මෙවලම් හා මෘදුකාංග විශාල සංඛ්‍යාවක් අන්තර්ජාල භාවිතයට නොමිලේ මුදා හැර ඇත. ඒවා මූලික වශයෙන් සෞඛ්‍ය, මූල්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල භාවිත කෙරේ. එවගේම, පෞද්ගලික කතා සඳහාද යොදා ගැනේ. චැට්ජීපීටී, ගූගල් ජෙමිනි, ක්ලෝඩ් ඒඅයි, මයික්‍රොසොෆ්ට් කෝපයිලට්, කැරැක්ට ඩොට් ඒඅයි එළෙස භාවිත වන මෘදුකාංග හා මෙවලම් අතුරින් කිහිපයකි.

වත්මනෙහි දියුණු බටහිර ලෝකයේ “කෘතිම බුද්ධිය” සම්බන්ධව ඇත්තේ ඇඟ හිරිවැටෙන කතා ය. සමාජයේ පුද්ගල සම්බන්ධතා බිඳ වැටී මිනිසා හුදකලා වීමේ අවදානම සම්බන්ධ කතාව දුර දිග යන කතාවකි. අනෙක මානව වර්ගයාගේ අවසානය සම්බන්ධ අනතුරු ඇඟවීමේ කතාව ය.

වොෂිංටන් විශ්ව විද්‍යාලයයේ සෞඛ්‍ය ප්‍රමිතිගත කිරීමේ හා ඇගයීමේ ආයතනයෙහි අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝෆ මරේ සම සභාපතිත්වය දරණ “21 වන සියවසෙහි සෞඛ්‍යයට එරෙහි ගෝලීය තර්ජන සම්බන්ධ ලාන්සෙට් කොමිසම” ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවට අනුව, මනුෂ්‍ය වර්ගයාට එරෙහි බරපතල තර්ජන 17 ක් අතර ද්වේශසහගත ලෙස “කෘතිම බුද්ධිය” භාවිත කිරීම හා න්‍යෂ්ඨික ගැටුම් සඳහන් වන්නේය. එම තර්ජන සියල්ල එක පොදු වැඩසටහනක් මගින් පාලනය කර කලමනාකරණය කරගත හැකි යැයි මහාචාර්ය මරේ කියන්නකි. එය ගෝලීය ප්‍රභලයින්ගේ වගකීමකි. ඒ වගකීම ඉටු කරන්නට ඔවුන්ට බල කිරීමේ අයිතිය සෙසු රටවලට තිබෙන්නකි. එයද තවමත් සිදු නොවන්නකි. 

කෘතිම බුද්ධියට අදාල මෙවලම් හා මෘදුකාංග “සරළ” සහ “බැර” මෙවලම් හා මෘදුකාංග යැයි කාණ්ඩ දෙකක් ලෙස භාවිත වේ. “බැර” මෘදුකාංග හා මෙවලම් යොදා ගැනෙන්නේ නිෂ්පාදන හා ජාතික වශයෙන් සැළසුම් කෙරෙන සේවාවන් වෙනුවෙනි. අපගේ දකුණු ආසියානු කලාපයේ නිෂ්පාදනයට, සෞඛ්‍ය හා පොදු මගී සේවයට, අධ්‍යාපනය වැනි ජාතික සේවා සහායට කෘතිම බුද්ධි මෘදුකාංග හා මෙවලම් පොදු වැදගත්කමක් ඇතිව යොදා ගැනීමක් දකින්නට නැත. කලාපීය රටවල් අතර ඉන්දියාවෙහි “බැර” මෙවලම් හා මෘදුකාංග සාපේක්ෂ වැඩි භාවිතයක් ඇතත් කලාපයක් ලෙස “බැර” මෙවලම් හා මෘදුකාංග භාවිතය බෙහෙවින් අඩුය. 

මේ දකුණු ආසියානු කලාපයේ වැඩිමනත් භාවිත වන්නේ “සරළ” මෘදුකාංග හා මෙවලම් ය. එවැනි භාවිත විශාල වශයෙන් පුද්ගල භාවිත වීම් වන නිසා මේ කලාපයේ රටවල කෘතිම බුද්ධි භාවිතය බාහිර ලෝකයට විවෘත වන්නේ ඉතා සීමිතව ය. දකුණු ආසියානු කලාපයේ එවැනි විවෘතවීම් වැඩි රටවල් අතුරින් මුලට ඉන්නේ භූතානය සහ ශ්‍රී ලංකාවය. ලෝක බැංකු කණ්ඩායම් බ්ලොග් අඩවියේ වූ ලිපියකට අනුව භූතානයේ සහ ශ්‍රී  ලංකාවේ විවෘතවීම සියයට 22 ක් පමණ ය. එය සැළකිය යුතු සමාජ බලපෑමක් කළ හැකි විවෘත වීමක් නොවේ යැයිද සඳහන් විය. තරුණ තරුණියන් විසින් අධ්‍යන කටයුතු සඳහා තොරතුරු සොයා ගැනීමට, නිබන්ධන ලිවීමට, පරිවර්තන කර ගැනීමට භාවිත කෙරෙන චැට්ජීපීටී, ගූගල් ජෙමිනි, ක්ලෝඩ් ඒඅයි වැනි මෘදුකාංග හා මෙවලම් ගොනු සඳහා විශාල වශයෙන් ඇත්තේ පුද්ගලවාදී භාවිතයකි. එවගේම වැඩ අතරතුර ඒකාකාරිත්වය, පාළුව තනිකම, ආතතිය මග හැර ගන්නටද මේ මෙවලම් හරහා අතථ්‍ය (Virtual) ප්‍රේමවන්තියන් ප්‍රේමවන්තයින්, මිතුරු මිතුරියන්, හිතවතුන් හිතවතියන් නිර්මාණය කර ගැනීම නාගරික තරුණ සමාජයෙහි දකින්නට තිබෙන්නකි.  

මේ ප්‍රවණතාව අපට සීමා වන්නක් නොවේ. මීට දසකයකට පමණ පෙර ඇමෙරිකාවේ අධිකරණයට යොමු කෙරුණු සිය දිවි නසා ගැනීම් දක්වා එම ප්‍රවනතාව වර්ධනය වී තිබිණ. තම නව යොවුන් පුතා කෘතිම බුද්ධි මෙවලමක් මගින් නිර්මාණය කරගත් “අතථ්‍ය පෙම්වතිය” සැබෑ තරුණියක් යැයි සිතෙන තරමට ඇසුරු කර, ඇයට ඔහුව හමුවීමට එන්නට නොහැකි යැයි කියූ හෙයින් සිය දිවි නසා ගැනීමට, කෘතිම බුද්ධි මෙවලම හිමි පෞද්ගලික සමාගම වගකිව යුතු යැයි මවක් අධිකරණයට ගොස් තිබිණ. එවැනිවූ ඇතැම් ගැටළු වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදෙස් ගැනීමට සිදුව ඇති තරුණ තරුණියන් ගැනද ඇමෙරිකාවෙන් වාර්තා වන්නේය. එවැනි වූ පුද්ගල චර්යා හැඩ ගැසීම් පාලනය කර ගැනීමට යුරෝපීය රටවල වයස අවුරුදු 13 න් පහළ ළමුන්ට අන්තර්ජාල භාවිතය බරපතල ලෙස සීමා කර ඇත. තවත් රටවල පාසල් ළමුන් දිනකට පරිඝණක තිරය හමුවේ සිටිය යුතු කාලය පැය කිහිපයකට සීමා කර ඇත. මේවා එතරම් ප්‍රායෝගික නොවන බවද දැන් සාකච්ඡා වන්නේය. එයට හේතු ලෙස දැක්වෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුවද තරුණ තරුණියන් කෘතිම බුද්ධි මෙවලම් ඔස්සේ ඔවුන්ට සීමා වූ මනෝ ලෝකවල හුදකලා වන්නේ යැයි අධ්‍යයන විසින් දැක්වීම ය.

බටහිර යුරෝපීය සමාජයන්හි කෘතිම බුද්ධි භාවිතයෙහි ඇබ්බැහිවීම් ඔවුන්ගේ සමාජ සංස්කෘතිය විසින් යම් ආකාරයක ස්වයං පාලනයකට හසුකර ගනු ලැබේ. සියවසකට දෙකකට වැඩි කාලයක සිට විටින් විට දිග හැරුණු සමාජ පෙරැළි අපගේ මෙන් නොව, දාර්ශනික සංවාද සමග සමාජ සම්මුතීන් ලෙස පිළිගනු ලැබීමෙන් හැදුණු සම්මතයන් සම්ප්‍රදායන් ඇත. ඒවා මගින් පදම් කෙරුණු ආකල්ප, සමාජ වටිනාකම් විසින් සමාජයේ පොදු පැවැත්ම තීන්දු කෙරෙන්නේ ය. ආචාර ධර්ම, ආකල්ප, සමාජ වටිනාකම් සම්මතයන් සම්ප්‍රදායන් සියවසකට වැඩි කලක් පුරා පැළපදියම්වූ සමාජයක පැවැත්මට, කෘතිම බුද්ධිය වැනි සමාජයෙන් වියුක්තව තනිපංගලමේ භාවිත කෙරෙන විද්‍යූත් මාධ්‍යයකට දසක කිහිපයකින් කළ හැකි බලපෑම ඉතා අල්පය.

ඇමෙරිකාවට වඩා හොඳින් යුරෝපා රටවල් බොහෝමයකට කෘතිම බුද්ධිය සමග වන සමාජ ප්‍රවනතා කලමනාකරණය කර ගැනීමට හැකිව ඇත්තේ එබැවින්ය. යුරෝපීය සමාජයේ දෙමාපියන් ඇතුළු වැඩිහිටි පරම්පරා ඉන්නේ, නව තාක්ෂණය කියන්නන් වාලේ වැළද නොගන්නා, ඒවායේ ගුණ දොස් හා වැය වීම් විපරම් කිරීමේ මනෝභාවයක ය. ඔවුන්ගේ විශ්ව විද්‍යාලවල ඒවා සම්බන්ධ අධ්‍යනයන් කරති. අධ්‍යයන නිගමන හා අනුමාන සමාජ සංවාද සඳහා තබති. සරළව කිවහොත් ඔවුන්ගේ සමාජ සංස්කෘතියෙහි නව තාක්ෂණ මෙවලම් සමාජයට හඳුන්වා දීමත් ඒවා ප්‍රශ්න කිරීමත් සමගාමී සමාජ භාවිතයන් ය. 

අපේ කතාවට මුල පිරුවොත්.....

වර්තමානයේ අපගේ නාගරික සමාජය නතු වෙමින් ඇත්තේ තරුණ තරුණියන් කෘතිම බුද්ධි මෙවලම් භාවිත කිරීමට ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයකට ය. නාගරික මැදපංතික වැඩිහිටියන් කෘතිම බුද්ධි මෙවලම් සම්බන්ධයෙන් තබන්නාවූ විශ්වාසයද එයට උත්ප්‍රේරකයකි. ඔවුහු රෝගාබාධ හඳුනා ගන්නටත් විශේෂඥ වෛද්‍යවරයෙකු තෝරා ගැනීමටත් වෛද්‍ය පරීක්ෂණ හා නියම කෙරුණු ඖෂධ සම්බන්ධ විස්තර දැන ගැනීමටත් කෘතිම බුද්ධිය භාවිත කරති. එවගේම භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එය ලාභයටම ගත හැකි තැන හා හොඳම සන්නාමය තේරීමට කෘතිම බුද්ධිය භාවිත කරති. එවැනි නාගරික මැදපංතික සංස්කෘතියක ළමුන් කෘතිම බුද්ධි භාවිතයට උනන්දු කරවීම සිදු වන්නේ නිවසේදීය. දෙමාපියන්ගෙන් ය. “ගෙදර වැඩ” සඳහා යැයි කෙරෙන පැවරුම් වෙනුවෙන් ළමුන් වැඩි කාලයක් පරිඝණකය හමුවේ ගත කිරීමත් එහිම දිගුවකි. එවගේම තම ගැටළු වෙනුවෙන් උත්තර සොයන්නට පරිඝණකය ඉදිරියේ වාඩිවන දරුවා තොරතුරු විස්තර සොයන්නට දිගු කාලයක් පොළඹවනු ලබන්නේ කෘතිම බුද්ධි මෘදුකාංග හා මෙවලම් මගින්ම ය. 

දෙවැන්න, විනෝදාංශ ක්ෂේත්‍රයෙහි කෘතිම බුද්ධිය සතු බලපෑමය. අධ්‍යාපන කටයුතු සඳහා යැයි විවෘත කෙරුණු කෘතිම බුද්ධි මෙවලම් අනතුරුව නෙට්ෆ්ලික්ස්, යූටියුබ්, ස්පොටිෆයි වැනි අන්තර්ජාල වේදිකා වලට මාරු වෙති. ඒවායේ චිත්‍රපට, සංගීත සංදර්ශන, තරග සඳහා අප්‍රමාණ තේරීම් වෙනුවෙන් ලබා දෙන සහායද තරුණ සමාජයෙහි කෘතිම බුද්ධිය භාවිතයට උත්තේජකයක්ව ඇත.

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයා ගන්නා යෞවන යෞවනියන්ට සහ උසස් අධ්‍යාපනයට යොමු වන්නන්ට එතැන් සිට තමන්ගේ අවශ්‍යතා අනුව ආර්ථික පහසුකම් හදා ගැනීම නාගරික අවිධිමත් සමාජයෙහි එතරම් අපහසුවක් නොවන බැව්, දකින්නට තිබෙන්නකි. වාර්ෂිකව නගරයට එකතුවන යොවුන් ජනගහනය සහ කෘතිම බුද්ධි භාවිතය සමගාමීව ඉහළ යන්නකි. තරුණ විධිමත් හා අවිධිමත් සමාජයෙහි පරිඝණකය සමග තනිවීමට ඇති නැඹුරුව සමගවන ඇබ්බැහිවීම, නොදැනීම සිදුවන්නකි. කෘතිම බුද්ධිය යුරෝපයේ වාගේම අපේ නාගරික සමාජයේ යෞවනයින්ද හුදකලා චරිත බවට පත් කරන නමුත්, අපි යුරෝපයේ මෙන් ඒ සම්බන්ධව වැදගත් අවධානයක් තවමත් යොමු නොකරන්නෙමු. බොහෝ මැදපංතික දෙමාපියන් සිතන්නේ “කොල්ලො එක්ක රස්තියාදුවේ යනවට වැඩිය ඔහොම හොඳයි” කියා ය. මේ සංසන්දනය සෘණ සාධක දෙකක් අතර වීම, ඛේදවාචකයකි.

ජයවර්ධනගේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දසක සතරක් පුරා පරාර්ථය, එකමුතුව, පොදු බව බිඳිමින් අතිශය ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ගේ සමාජයක් හදමින් ඉන්නා අපි යුරෝපීයන්ට වඩා හුදකලාවට හුරු වූවන් වන්නෙමු. “තමන් හිසට තම අතමය සෙවණැල්ල” යැයි අප කියන්නේ අපගේ වැඩ කටයුතු අප තනිව කර ගැනීම, අපගේ සංස්කෘතික ලක්ෂණයක් වන හෙයිනි. කෘතිම බුද්ධිය විසින් තරුණ මනස ඩැහැ ගනු ලබන්නේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි හැදෙන ආත්මාර්ථකාමී පාරිභෝගිකත්වය පාදක කරගත් තනි තනිව සාර්ථක ගමන් යා හැකි යැයි වන සංස්කෘතියේද පිහිට ඇතිවය. අප කෘතිම බුද්ධිය හමුවේ ලිහා දැමෙන, හුදකලා වන සමාජයක් වීම, යුරෝපයේ මෙන් කලමනාකරණය කර ගැනීමට අසමත් වනු ඇත්තේ එනිසාවෙන් ය.

මගේ භාෂාවෙන් කියන්නේ නම්, අපි දැනටත් අපේ සමාජය “පරමානුගත” කරමින් සිටින්නෙමු. ආත්මාර්ථකාමී ස්වාධීන පාරිභෝගිකයින් වන්නට කලියෙන් ඉදිරි පරම්පරා, "මාර්ග ගත" (On Line) හුදකලා පාරිභෝගිකයින් බවට පත් කෙරෙන්නේ නිවසෙහිදීය. එවැනි මාර්ග ගත හුදකලා පාරිභෝගිකයින්ගේ සමාජයක යම් අත්දැකීමක් අපි කොරෝනා සමයේ අත් දුටුවෙමු. එය “තාක්ෂණිකව” දියුණු අවධියක් විය හැක. එහෙත් නිවසට කොටු කෙරුණු, අවට සමාජය සමග අවම සම්බන්ධයක් හෝ නැති නාගරික තරුණ සමාජයක් කෘතිම බුද්ධිය සමග හුදකලා කර තැබෙන විට, ඉන් නිර්මාණය වන්නේ පොදු ගතිකයක් නොමැති කඩල ඇට මල්ලක් වැනි සමාජයකි. 

මානව සමාජය හා ජෛව ආචාර්ධර්ම වෙත කෘතිම බුද්ධිය මගින් ඇති කරන්නාවූ බලපෑම් සම්බන්ධව තායිවානයේ චුන් ශාන් වෛද්‍ය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය සමාජවිද්‍යාව හා සමාජ සේවය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මයිකල් චෙං-ටෙක් ටායි 2020 අගෝස්තුවේදී කළ අධ්‍යයනයකට අනුව, අප ජීවත්වන සමාජ රටාව කෘතිම බුද්ධිය විසින් ඉදිරියේදී බරපතල සමාජ වෙනසකට හසුකර බිඳ දමනු ඇත. සන්නිවේදනය සඳහා හමුවීමේ අවශ්‍යතාව, කෘතිම බුද්ධිය විසින් බාර ගැනීමෙන් සමීප මානව සබඳතා ක්‍රමානුකූලව අහෝසි කෙරෙනු ඇත. ජාතික ආදායමෙන් වැඩි පංගුව කෘතිම බුද්ධි ආයෝජකයින් වෙන් කර ගන්නා හෙයින් දුප්පත්කම වැඩි වනු ඇත. සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍රයෙන් විශාල වනු ඇත. මහාචාර්ය චෙං-ටෙක් ටායි සෘජුව නොකියූ නමුත් පැහැදිලි ඇඟවීමක් වූයේ, කෘතිම බුද්ධි ආයෝජකයින් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් වර්ගවාදී ආගම්වාදී බෙදීම් පාදක වන මෘදුකාංග නිෂ්පාදනය නොකරනු ඇතැයි කිසිදු සහතිකයක් නැතැයි යන්න ය. එසේ වුවහොත් එය අතිශය භයානක ලෝකයකට දොර ජනෙල් විවෘත කෙරෙන්නක් වනු ඇත.

මෙවැනි සමාජ ආර්ථික හැඩ ගැසීම් එකවර අප ඉදිරියේ දිග හැරෙනු දැනෙන්නට දකින්නට ලැබෙන්නේ නැත. ඒ සමග අපද ගමන් යන නිසාම නොවේ. එවැනි හැඩ ගැසීම් අතීතය සමග සසඳා හඳුනා ගන්නටද සැළකිය යුතු කාලයක් ගත වන හෙයිනි. එහෙත් කෘතිම බුද්ධිය විසින් යුරෝපයේ ඇති කරන්නාවූ බලපෑමට වඩා අවදානම් සහගත බලපෑමක් අපට ඉතිරි කිරීමට ඇති ඉඩකඩ හා අවදානම ගැන ආණ්ඩු පාලනයට AI යොදා ගැනීමේ සාඩම්බර කතා කියන දේශපාලකයින් ප්‍රවේසම් විය යුතු යැයි කිව යුතුය.

කුසල් පෙරේරා
2026 ඔක්තෝම්බර 24 වන දින

Monday, October 19, 2026

ළමුන්ට පෙර ගුරුවරුන් හැදිය යුතුය

Courtesy Daily Mirror
මීට සතියකට ආසන්නයේ, පසුගිය ඔක්තොම්බර 15 වන දින අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස මල්වතු-අස්ගිරි පාර්ශව නායක ස්වාමීන්වහන්සේ දෙපළ හමුවී, ලබන 2027 ජනවාරියේ සිට 02 වන හා 06 වන ශ්‍රේණි වලින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා යැයි උන්වහන්සේලා දැනුවත් කර ඇත. සමාජ කතිකාවක් ඔස්සේ සම්පාදනය කළ යුතුව තිබූ නමුත් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටද නොකියූ, මැතිවරණයේදී පොරොන්දුවූ ආණ්ඩු පාලනයේ සමාජ වගවීම හා පාරදෘශ්‍යභාවය අහළකවත් නැති, සමාජයට ප්‍රසිද්ධ නොකර මෙතෙක් ඉතා දැඩි රහසක් ලෙස තබා ගෙන පැමිණි ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ රට තවමත් දන්නා දෙයක් නැත. අප දන්නේ ඇය කියන්නාවූ මෙය, “විෂයමාලා වෙනස් කිරීමකට වඩා බොහෝ දුර යන, සමස්ථ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්නාවූ පරිවර්තනයක්” බව ය. “අපගේ අනාගතය හදන්නේ දියුණු ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් සමග” යැයි ඇය කියූව පමණය.

රටට නොකියූ, රටම නොදන්නා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලිකර ගැනීම් සඳහා යැයි සතියකට පමණ ඉහතින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “බෙදා ගැනීමට පෙර සත්‍යාපනය කරන්න” කියා වෙබ් අඩවියක් සක්‍රීයකර ඇත (https://edureformfact.moe.gov.lk). යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව එම වෙබ් අඩවියෙහි හෝ පළ කර නැත. වෙබ් අඩවියෙහි ප්‍රධානම උවදෙස වන්නේ, “අධ්‍යාපනය පිළිබඳ ප්‍රකාශ නිල සාක්ෂි සමග පරීක්ෂාකර සැක සහිත තොරතුරු සමාලෝචනයට යොමු කරන්න” යන්න ය. නොදන්නා ප්‍රතිසංස්කරණ සියල්ල සැක සහිත ය. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන තෙක් මේ වෙබ් අඩවියෙන් වැඩක් නැත. අතාර්කික, මෝඩ ප්‍රචාරකවාදී එළැඹුමක් ලෙස මේ සඳහා නාස්ති කළ රුපියල් ලක්ෂ ගණනක මහජන මුදල් පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දක්වන සැළකිල්ල කවරක්දැයි බැලීමද වටිනේය.      

මෙහි මා අවධානය යොමු කරන්නේ නොදන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත නොවේ. මෙහි මා අවධානය යොමු කරන්නේ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මල්වතු-අස්ගිරි නායක ස්වාමීන්වහන්සේ දෙපළ සමග කියූ 2027 වසර සඳහා අලුතින් ගුරුවරුන් බඳවා ගැනීම ගැන ය. මාධ්‍ය වාර්තා කළ අයුරු, උපාධීධාරීන් 23,000 ක් ගුරුවර ගුරුවරියන් ලෙස බඳවා ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඇත. ඒ සඳහා ඉකුත් මැයි මාසයේ පැවැත්වූ ලිඛිත විභාගයෙන් 17,688 ක් සමත්ව ඇත. ඔවුන් සඳහාවන සම්මුඛ පරීක්ෂණ ලබන නොවැම්බර 15 වන දිනට යොදා ඇත. ආචාර්ය හරිනි අමරසූරිය මල්වතු-අස්ගිරි නායක ස්වාමීන්වහන්සේ දෙපළ සමග කියා තිබුණේ අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා පමණක් නොව, ඔවුනට ගුරු පුහුණුවක්ද ලබා දෙන බවය.

මෙය කතා කළ යුතු මාතෘකාවකි. පළමුව ඇසිය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය “ගුරුවරයා” යැයි කතා කරන්නේ කවරෙකු ගැනදැයි කියා ය. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව ගුරුවරයෙකු යනු “දේශයේ අනාගතය ගොඩනැගීමේදී අධ්‍යාපන පද්ධතියෙහි ඇති තීරණාත්මක මානව සම්පත වන්නේය.” අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු පත්වීම් ලබා දෙන්නේ “දේශයේ අනාගතය ගොඩනැගීම” සඳහා වන මානව සම්පත් තෝරා ගෙන දැයි මම නොඅසමි. ඒ අතර, 2014 ඔක්තෝම්බර 23 වන දින අංක 1885/38 දරණ ගැසට් පත්‍රයට අනුව “ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය” විසින් ගුරුවරයෙකු යැයි අර්ථ දක්වන්නේ ගුරු සේවාවේ සාමාජිකයෙකු ලෙස “රජයේ පාසලක ළමුන්ට ඉගැන්වීමේ මූලික කාර්ය ඉටු කරන්නෙකි”. එසේ ගතහොත් කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ රජය විසින් පිළිගනු ලැබ ඇති, ජාතික විභාග සඳහා ළමුන් සූදානම් කරන පෞද්ගලික පාසල් 95 ක පමණ උගන්වන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයකි.

යුනෙස්කෝවට අනුව, ගුරුවරයෙකු යනු විෂය ඉගැන්වීමට සහ ළමුන්ගේ දැනුම පුළුල් ලෙස වර්ධනය කරන්නට අමතරව ඔවුන්ගේ බුද්ධිමය දියුණුව වෙනුවෙන් සහාය වන්නකුද වේ. ඉගෙන ගන්නා සැමට දියුණු අධ්‍යාපනයක් ලැබීමට, වැදගත් සහායක් ඇතිව හරියාකාරව පුහුණු කරන ලද ගුරුවරයෙකු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ යැයි යුනෙස්කෝව කියන්නේය.

යුනෙස්කෝවේ අර්ථදැක්වීම පාදක කරගතහොත් “ගුරුවරයෙකු” යනු ළමුන්ගේ අධ්‍යාපනයට, ඉගෙනුමට සහාය වන්නෙකු හා මග පෙන්වන්නෙකු මිස, වර්තමානයේ මෙන් විභාග සමත්වීම ඉලක්ක කර ළමුන්ගේ ළමා ජීවිතය මකා දමන්නෙකු නොවේ. ආචාර්ය හරිනි අමරසූරිය කියන්නාවූ “ගුරු පුහුණුව” කවරක්දැයි අසන්නට සිදු වන්නේ එනිසා ය. ඇය කියන්නාවූ ගුරු පුහුණුව ගැන කිසිදු විස්තර දැන්වීමක් නැත. එහෙත් එක දෙයක් කිව යුතුය. හුදෙක් විෂය දැනුම ඉගැන්වීමට සමතෙකු වූ පමණින් ගුරුවරයෙකු පරිපූර්ණ, දක්ෂ ගුරුවරයෙකු වන්නේ නැත. අපගේ වැනි ඌණ වර්ධිත රටවල ගුරුවරයෙකු පරිපූර්ණ, දක්ෂ ගුරුවරයෙකු වන්නේ, ආකල්පමය වශයෙන්ද දියුණු, සදාචාර සම්පන්න, විනයක් ඉවසීමක් සහිත පරාර්ථකාමී පුද්ගලයෙකුද වූ විටය. පංතියේ ළමුන් ඉදිරියේ පමණක් නොව, සමාජය හමුවේද ප්‍රසන්න, ආදර්ශමත් චරිතයක් වූ විටය.

අනාගතවාදී දියුණු තරුණ පරපුරක් හදන්නට හැකි, ලොවට විවෘත වූ එවැනි ගුරුවරුන් “පුහුණුකර” අධ්‍යාපන පද්ධතියට එකතු කළ හැකි ප්‍රතාපවත් දැනුවත් ගුරු පුහුණුකරුවන් මේ රටේ නැත. මේ රටේ විද්‍යා පීඨවල ඉන්නා අති බහුතරයක් තමන් ගුරු පුහුණුකරුවෙකු යැයි සිතා සිටින, දසක ගණනාවක් ෆොසිලගත වූ මාන්නාධික හිස් චරිත සමූහයකි. අගමැතිනිය දන්නේදැයි නොදන්නේදැයි නොදනිමි. 1986 පමණ ආරම්භ කෙරුණු ගුරුවරුන් හැදීමේ “ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ” වැඩවසම්වාදී අති ප්‍රාථමික, ආකල්පමය වශයෙන්ද නොදියුණු ගුරු පුහුණුකරුවන්ගේ ලැගුම් හල් වැනිය. ඒවායේ ප්‍රථාපවත් පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හැදෙන්නේ නැත. හදන්නටද නොහැක. ගුරු පත්වීම් ලබාදී ඒවායේ පුහුණු කෙරෙන්නේ උසස් පෙළ විභාගයටද පෙනී සිටි වැඩිහිටි තරුණ තරුණියන් වූවත් ඔවුන්ට විවාහය තහනම්ය. පුහුණුව නේවාසික වන අතර තරුණියන්ට සුදු සාරිය හැර වෙන කිසිවක් හැඳ දේශන වලට පමණක් නොව, විද්‍යා පීඨ භූමියෙන්ද පිට විය නොහැක. ඒවායේ පුහුණු කිරීම් යැයි කෙරෙන්නේ බන්ධනාගාර විනයක් වැනි කිසිදු නිදහසක් නැති කුරිරු පාලනයක් යටතේ ය. එළෙසින් “පුහුණු කර” පෞරුෂය මොට කළ ගුරුවර ගුරුවරියන් අවුරුදු 30 ක කාලයක් පාසල් වලට යවා ඇත.

අධ්‍යාපන විද්‍යා පීඨ වලින් බැහැරව විශ්ව විද්‍යාල උපාධි වලට අමතරව පළාත් සභා පත්වීම්, උසස් ජාතික ඩිප්ලෝමා (ඉංග්‍රීසි) වැනි වෙනත් ආකාරයන්ගෙන් ගුරු පත්වීම් ලැබූවන්ද ගාල් කර ඇති සහ එවැන්නන්ට “සේවා පුහුණු” ලබා දීමට ස්ථාපිතකර ඇති ප්‍රාදේශීය ගුරු මධ්‍යස්ථාන 100 ක තත්ත්වයද ඊට වෙනස් නැත. ඒවාද යහපත් සේවා පුහුණු මධ්‍යස්ථාන නොවන බැව් කිව යුත්තක් නොවේ. තනි කෙටි වාක්‍යයකින් කිවහොත් වර්තමාන ගුරු පරපුර සහ ඊට අලුතින් බඳවා ගන්නවුන් වෘත්තිමය වශයෙන් ගුරුවරුන් නොවේ.

ඒ කියමන පහසුවෙන් තේරුම් ගැනීමට හැක්කේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමුන්ට එරෙහිව සිදු කෙරුණු හිංසන සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිරික්සීමෙනි. බ්රිතාන්‍යයේ බැරිස්ටවරියක් වන තරංගී මුතුකුමාරණ “ශ්‍රී ලංකාවේ ළමා හිංසන අර්බුදය” මැයෙන් ලියූ ලිපියක සඳහන් වන්නේ 2020 වසරේ පළමු දින 60 ඇතුළත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිළි 2,500 ට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 ඔස්සේ දිනකට පැමිණිලි 40 ට වැඩිය ලැබෙන බවත්ය.

ළමා ආරක්ෂක අධිකාරිය 2019 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ පාසල්වල ළමා විනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන පියවර” සම්බන්ධ ඔවුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යනයකට අනුව, සියයට 80 ට වැඩි ළමා ප්‍රතිශතයක් පාසල් වියේදී එක් වරක් හෝ දඬුවමක් වශයෙන් ශාරීරික පහරදීමට ලක්ව ඇත. ඉන් සියයට 42 ට කෝටුවකින් හෝ එවැනි ඝණ පටියකින් පිටු පසට පහරදී ඇත. තවත් සියයට 25 ට ආසන්න ප්‍රතිශතයකට කම්මුලට, කණට හෝ හිසට පහර දී ඇත. එවැනි ශාරීරික දඬුවම් පිළිබඳව ළමුන් කියා ඇති විස්තර වලට අනුව පයින් ගැසීම, බෙල්ලෙන් ඇද බෙල්ල හිර කිරීම, බිම දමා පහරදීම, ශරීරය තැනින් තැන පිච්චීම, හැකි තරම් දරුණු ලෙස දිගින් දිගට පහරදීම සඳහන් වන්නේය. එවගේම අනෙක් ළමුන් ඉදිරියේ ගොනා, බූරුවා, බල්ලා වැනි අපහාස කිරීම්, අමානුෂික ලෙස තර්ජනය කිරීම් වැනි මානසික හිංසන සිදු කෙරෙන්නේ යැයිද ළමුන් කියා ඇත. (පිටු 29/31)   

සාපේක්ෂ වශයෙන් ගැහැණු ළමුන්ට එවැනි බරපතල ශාරීරික හිංසන කිරීම් අඩුය. එහෙත් එම අධ්‍යනයෙන් කෙරෙන අනපේක්ෂිත හෙළිදරුව්වක් වන්නේ ළමුන්ට වැඩියෙන්ම දඩුවම් කරන්නේ ගුරුවරියන් (සියයට 73.4 කි) වීමය. වයස් කාණ්ඩ අනුව වැඩියෙන් ශාරීරික දඬුවම් දෙන්නේ වයස 30 ත් 39 ත් අතර ගුරුවර ගුරුවරියන් ය. 

පාසල්වල ළමුන්ට එරෙහි ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම ඉතා වැඩි යැයි මෙම අධ්‍යනයෙහි විධායක සම්පිණ්ඩනයෙහි සඳහන් වන්නේ ය. බොහෝ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශාරීරික දඬුවම් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ යැයිද, එයට හේතුව ඔවුන්ගේ පාසල් විය අත්දැකීම් යැයිද එහි සඳහන්ව ඇත. පාසලෙහි නඩත්තු කෙරෙන මේ ප්‍රචණ්ඩත්වය, අපගේ අපරාධ නීතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍ර ලේඛ උල්ලංඝණය කෙරෙන්නකි.

ළමුන්ට ශාරීරිකව දඩුවම් කිරීම නීති විරෝධි යැයිද නීතියට අනුව අපරාධයක් යැයිද සඳහන් වන්නේ 1939 අංක 48 දරණ ළමා හා තරුණ පුද්ගල ආඥා පනතේ 71(6) වගන්තියට අනුව ය. එහි සඳහන් වන්නේ දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වෙනත් අයට ළමුන්ට දඩුවම් කළ නොහැකිය යැයි කියා ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 12/2016 දරණ චක්‍ර ලේඛයේ 04 වන වගන්තියෙන් ඉතා නිරවුල්ව සියලු ආකාරයේ ශාරීරික හා මානසික දඬුවම් සපුරා තහනම් කර ඇත. ශාරීරික හා මානසික දඬුවම් තහනම් කිරීම සියලු රජයේ හා රජය විසින් අනුමත පාසල් වලට අදාල වන අතර, දඬුවම් කිරීමකින් තොරව ළමුන්ගේ විනය තහවුරු කර ගැනීමේ වගකීම විදුහල්පතිවරුන්ට හා ගුරු මණ්ඩලයට පැවරෙන්නකි. එහෙත් ඉන් අපේක්ෂා කරන්නාවූ ශිෂ්ඨ පැවැත්මක් පාසලෙහි නැත. පාසල හා පංතිකාමරය ප්‍රචණ්ඩත්වයෙන් තොර, සාමකාමී, නිදහස් ළමා කේන්ද්‍රීය යහපත් එකතුවක් නොවන්නේ ළමුන් නිසාම නොවේ. ඒ මන්දැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනඥයින් නොකීවත් අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමට පෙර, සමාජ විද්‍යාඥයෙකුද වන ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස ඒ ගැන සිතිය යුතුය.

මේ ප්‍රචණ්ඩත්වය පාසලට, පංතිකාමරයට හා ගුරුවරුන්ට සීමා වන්නක්ම නොවේ. චක්‍ර ලේඛ මගින් දන්වා ඇති “දඬුවම් කිරීමකින් තොරව ළමුන්ගේ විනය තහවුරු කර ගැනීම” පාසලේදී පමණක් පවත්වා ගත හැක්කක් නොවේ. එය සමාජීය පිරිහීමෙහි ප්‍රකාශනයකි. එය දෙමාපියන්ද පංගුකාරයින් වන සමාජයේ වගා වන ප්‍රචණ්ඩත්වයෙහි ප්‍රකාශනයකි. එනිසා විෂයන්ට හා ආචාර ධර්ම වලට එහා යන, “එකමුතුව හා සමාජ සංහිඳියාව, අනෙකාගේ අනන්‍යතාව පිළිගන්නා සහ ඊට ගරු කරන්නාවූ මනුෂ්‍යත්වය, අනෙකා පරදා තමන් ජය ගැනීමේ තරගකාරී ආත්මාර්ථකාමිත්වය ප්‍රතික්ෂේප කෙරෙන පරාර්ථකාමී සමාජයකට අවශ්‍ය” ගුරු පුහුණුවක් සැළසුම්කර ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ එක ප්‍රධාන වගකීමකි. එහෙත් එය හුදකලා ව්‍යායාමයක් ලෙස අසාර්ථක වන්නකි. ඊට අවශ්‍ය විවෘත සමාජ මතවාදය තහවුරු කිරීම සමගින් සමගාමීව එය දියත් විය යුතුය. ආචාර්ය හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු මූලික පදනම විය යුත්තේ එය ය. ඇත්තම කතාව නම්, මේ බරපතල සමාජ පිරිහීම සමග අධ්‍යාපනය පමණක් වෙනම ප්‍රතිසංස්කරණය කළ නොහැක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සමාජ සංවර්ධන සැළසුමක් අනිවාර්ය වන්නකි. දියුණු ගුරු පරපුරක් එහි අනිවාර්ය අත්‍යාවශ්‍ය සාධකයකි. ළමුන්ට පෙර ගුරුවරුන් හැදිය යුතු යැයි කියන්නේ එබැවින් ය.

එවැනි දියුණු දුර දිග යන ප්‍රතිසංස්කරණ රහසිගතව, කල්ලියක් විසින් සම්පාදනය කිරීම අතිශය අවදානම් සහිතය. ක්‍රියාත්මක කිරීමට පටන් ගත් පසු තැනින් තැන, විටින් විට කෑලි කපා වෙනස් කළ නොහැක. ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කළ යුතු යැයි කියන්නේ, කලින් වර මෙන් වෙබ් අඩවි අවුල් හේතුවෙන් කල් තබන්නට හේතු නොවන, සමාජය විසින් කරන්නාවූ ගුණදොස් විචාරයෙන් පසු සියල්ලන්ගේ එකඟත්වයක් ඇතිව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු හෙයිනි.

කුසල් පෙරේරා
2026 ඔක්තෝම්බර 19 වන දින



Wednesday, October 14, 2026

ප්‍රාදේශීය, නගර, මහ නගර සභා සඳහා තරුණ මහළු අපි ඡන්දය දෙන්නේ ඇයි?

කොළඹ ඇළ කානු පිරිසිදු කරන්න
අගමැතිනියගෙන් සති දෙකක කාලයක්
මේ දිනවල දේශගුණය ගැන අනාවැකි කීම පහසු නැත. පැය කිහිපයක් ඇතුළත ලොකු වෙනස්කම් ඇතිවන දේශගුණයෙහි නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල නිතර ඇසෙන පැමිණිල්ලක් වන්නේ, ගෙවල් දොරවල්, පාරවල් යට වීමය. මගී ප්‍රවාහනය, ත්‍රීරෝද රථ ගමන් අඩාල වීමෙන් අනිවාර්ය ගමන් බිමන් ඇණ හිටීමය. ඒවාට චෝදනා ලබන්නේ ආණ්ඩුව ය. ආණ්ඩුවට චෝදනා කරන පුද්ගලයින් විසදුම් සොයන්නේ පෞද්ගලිකව තමන්ගේ තාප්ප සීමාවෙහි ය. “මං කාණුව වහලා දැම්මා” යැයි කියන අය සිටිති. එවිට අසල්වැසියන් යට වෙන්නේ යැයි කී විට, “ඒක ඒගොල්ලො බලා ගන්න ඕනෙ.... මට යට වෙන්න බැහැ” යැයි අනිවාර්ය උත්තරය වන්නේය. මේ සමාජය දසක ගණනාවක් පුරා ආත්මාර්ථකාමී, පුද්ගලවාදී සමාජයක් බවට පත්ව තිබෙන බව දෛනික ජීවිතයෙහි අත්විදින්නට තිබෙන්නකි. ඒ ආත්මාර්ථකාමයෙහි කෲරත්වය දකින්නට හැක්කේ මෙවන් ආපදා හමුවේ ය.

මේ ආරවුලෙහි පළාත් පාලන ආයතන සතු වගකීම කුමක්ද? පළාත් පාලන ආයතන ගැන කිසිදු විශ්වාසයක් නොමැති බැව් ආත්මාර්ථකාමයෙහි පොදු නිගමනය වන්නේය. ඔවුන්ම ඡන්දය දුන් ඔවුන්ම පත්කර ගත් පළාත් පාලන ආයතනය ගැන කියන්නේ “වැඩක් නෑ ..... මන්ත්‍රියාවත් එන්නෙ නෑ බලන්න” යැයි කියා ය. පළාත් පාලන ආයතන ප්‍රතික්ෂේප වී ඇත. 

දැනට ඇති පළාත් පාලන ආයතන ඡන්දයෙන් තෝරා පත්කර මාස 16 ට වැඩි ය. ඒවා පත් කිරීමට ඒවාට ඡන්දය දුන් ප්‍රජාවට ඒවායින් වැදගත් යමක් සිදුව නොමැති බව ජල ගැලීම්, ගෙවල් පාරවල් යටවීම කියන්නකි. ඡන්දදායකයින්ට වඩාත්ම ආසන්න බිම් මට්ටමේ “ජනතා නියෝජිතයින්” යැයි න්‍යායිකව අර්ථ ගන්වන්නේ ප්‍රාදේශීය සභා, නගර හා මහ නගර සභාවලට තෝරා පත් කෙරෙන මන්ත්‍රීවරුන් ය. තම බල ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ප්‍රාදේශීය සේවා ගණනාවක් වැඩි දියුණුකර පවත්වා ගැනීමේ වගකීම බාර ගන්නා ජනතා නියෝජිතයින් ඔවුන් වන්නාහ. 

කොළඹ මහ ආණ්ඩුව පාර්ලිමේන්තුවකින් පත් කිරීමට බොහෝ කාලයකට පෙර රජ කාලයේ සිට පැවති “වරිග සභා” සහ ඊට මඳක් වැඩි බලයක් පැවති “ගම් සභා” අද ඡන්දයෙන් තෝරා පත් කෙරෙන පළාත් පාලන ආයතනවල මූලාරම්භය වන්නේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ 1818 දී මේ සියල්ල අහෝසි කළහ. එහෙත් කෝල්බෲක්-කැමරන් කමිටුව 1833 දී පැමිණ කළ නිර්දේශ මත, 1856 අංක 09 දරණ “කුඹුරු හා වාරිමාර්ග ආඥා පනත” සම්මත කිරීමෙන් කෘෂිකර්මය හා වාරිමාර්ග කටයුතු කලමනාකරණයට සහාය වීම පිණිස නැවත “ගම් සභා” පිහිටුවනු ලැබිණ. 

පළාත් හා ප්‍රාදේශීය පාලනය වර්ධනය වූයේ 1861 අංක 10 දරණ ආඥා පනත මගින් පළාත් මාර්ග සංවර්ධනය වෙනුවෙන් "පළාත් මාර්ග කමිටු" සහ "දිස්ත්‍රික් මාර්ග කමිටු" පිහිටුවීම ඔස්සේය. යටත් විජිත පාලකයින් විසින් සහ ප්‍රභූ ඡන්දයෙන් පත් කෙරුණු සභිකයින් සමග වූවත් 1865 අංක 17 දරණ මහ නගර සභා ආඥා පනත මගින් පළමුව කොළඹ හා අනතුරුව මහනුවර මහ නගර සභා පිහිටු වීමෙන් පළාත් පාලනය තව මඳක් පුළුල් කෙරුණි. 

ප්‍රාදේශීය පරිපාලනය සඳහා “ග්‍රාමීය කමිටු” සහ ප්‍රාදේශීය අධිකරණ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය උසාවි පිහිටුවනු ලැබුවේ 1871 අංක 26 දරණ ග්‍රාමීය ප්‍රජා ආඥා පනත මගින් ය. ප්‍රාදේශීය ජනයාගේ ඉල්ලීම් අනුව “ග්‍රාමීය කමිටු” පිහිටුවීමේ බලය ආණ්ඩුකාරවරයාට හා ව්‍යවස්ථා මණ්ඩලයට දෙනු ලැබිණ. අනතුරුව 1920 අංක 11 දරණ පළාත් පාලන ආඥා පනත මගින් දිස්ත්‍රික් නාගරික මණ්ඩල, දිස්ත්‍රික් ග්‍රාමීය මණ්ඩල සහ පොදු මණ්ඩල යැයි පළාත් පාලන ආයතන වර්ග 03 ක් පිහිටුවනු ලැබිණ. ඒ වන විට “ග්‍රාමීය කමිටු” ඉතා සතුටුදායක කාර්ය සාධනයක් පෙන් වූයෙන් “ග්‍රාමීය කමිටු” ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ප්‍රතිසංස්කරණ ගණනාවක් 1938 දී ක්‍රියාත්මක කෙරුණි. ඩොනොමො කමිටුව විසින් 1931 දී සර්වජන ඡන්දය ලබා දී තිබූ හෙයින්, සියලු සභිකයින් ජනතා ඡන්දයෙන් පත් කෙරුණි. ග්‍රාමීය කමිටු බල ප්‍රදේශය කුඩා කොට්ඨාශ වලට බෙදනු ලැබිණ. වැඩවසම් සමාජයෙහි වූ ග්‍රාමීය ප්‍රභූ නායකයින් සභිකයින් ලෙස පත්වීම අත්හිටවනු ලැබිණ. ඒ සමග ග්‍රාමීය කමිටු වලට බිම් කුලී අය කිරීමේ බලයත් ප්‍රජා සෞඛ්‍ය සේවාවට අමතරව පාරවල්, ජල පහසුව සහ ප්‍රදේශයේ පොදු පහසුකම් සැපයීමේ වගකීමත් බාර දෙනු ලැබිණ. අනෙක් එකතුව වූයේ 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත මගින් නගර සභා පිහිටු වීමය. 

එළෙසින් අවුරුදු 90 ට වැඩි කාලයක් විකාශනය වූ පළාත් පාලන පද්ධතිය අප 1948 නිදහස ලබන විට කොළඹ, මහනුවර සහ ගාල්ල සඳහාවූ මහ නගර සභා 03 ට අමතරව, නගර සභා, සුළු නගර සභා (ටවුන් කවුන්සිල) සහ ගම් සභා ලෙස ස්ථාපිතව තිබිණ. එතැන් සිට 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කෙරුණු නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 ට ආසන්න කාලයේ සිදුවූ පරිවර්තන හා සංශෝධන සහිත කාන්තා සහ තරුණ නියෝජනය සඳහාවන සළාකද ඇති අනුපාත ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන මහ නගර සභා 29 ක්ද නගර සභා 37 ක්ද ප්‍රාදේශීය සභා 276 ක්ද වර්තමානයේ ඇත.

මෙම පළාත් පාලන ආයතන හඳුනාගත යුත්තේ අපගේ ආයතනික බල ව්‍යුහ 03 කින් යුත් ආණ්ඩු පාලනයෙහි පාර්ලිමේන්තුව යටතේ බලය විමධ්‍යගත කෙරුණු පළාත් සභා වලට පහළින් පිහිටුවා ඇති ප්‍රාදේශීය පරිපාලන ආයතන ලෙසින්ය. ඒවායෙහි බලය ආයතනගත කිරීම මූලික වශයෙන් 1947 අංක 29 දරණ මහ නගර සභා ආඥා පනතත් 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනතත් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතත් ඇසුරෙන් සිදුකර ඇත. පළාත් පාලන ආයතන මගින් අපේක්ෂා කරන්නේ “ප්‍රජාවගේ සුව සෙත, සුව පහසුව සහ යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමය”. නීතිමය අවසරයක් ඇති සේවා පමණක් ඒ සඳහා භාවිත කළ හැක. එවැනි සේවා සැපයුම් වන්නේ මාර්ග, කාණු පද්ධති, උද්‍යාන, පුස්තකාල, නිවාස, කසළ ඉවත් කිරීම, පොදු පහසුකම් සහ විනෝදාංශ වේ (පළාත් පාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විමර්ශන කොමිසම් සභාවෙහි වාර්තාව - 1999 / 02 වන පරිච්ඡේදය - පළාත් පාලන පද්ධතිය ඃ බලය හා කාර්යන්). 90 දසකය ආරම්භයේ සිට ගෝලීය වශයෙන් ලොකු අවධානයක් දෙනු ලබන හා අවධාරණයක් කෙරෙන පරිසරය සුරැකීමට, ඒ සියල්ල යටත් වන්නේය. 

මෙතැනින් මතුවන බරපතලම ප්‍රශ්නය වන්නේ, නිදහසින් පසු අවුරුදු 78 ක් පරම්පරා 04 ක් පසුකර පැමිණි පසු වඩාත් දියුණු යැයි පාරම් බාන වත්මන් පරම්පරා මේ පළාත් සභා වෙතින් ලබා ගන්නා ප්‍රාදේශීය දියුණුව, යහපත කුමක්ද යන්න ය. 1977 න් පසු දළ වශයෙන් පළාත් පාලන මැතිවරණ 16 ක් හෝ 17 ක් ඉකුත් 2025 මැතිවරණය වන විට මේ රටේ පවත්වා ඇත. වර්තමානයේද ඒ ගෙවුනු අවුරුදු 48 තුල විශේෂ කිසිවක් සිදුව නැත. කෙරෙන්නන් වාලේ කෙරෙන දෙයක් සමගින් හෙට දවසට පය තබනවා හැර පළාත් පාලන ආයතනවල කිසිත් සිදුවන්නේ නැත.

පවතින ආත්මාර්ථකාමී සමාජයේ වැදගත් දියුණුවක් ඇති වන්නටද නොහැක. වර්තමානයේ අලුත් පරපුරද ඡන්දය දෙන්නේ එවැනි දියුණුවක් ගැන අවබෝධයක් ඇතිව නොවේ. පක්ෂ සහ අපේක්ෂකයින් ඡන්දය ඉල්ලන්නේද එවැනි දියුණුවක් වෙනුවෙන් සැළසුම් ඇතිව නොවේ. පළාත් පාලන ආයතන ඇත්තේ මොනවාටදැයි අපේක්ෂකයින් දන්නේද නැත. තරුණ පරම්පරාවේ ඡන්දදායකයා දන්නේද නැත. ඡන්දය දීමට ප්‍රදේශයේ සංවර්ධන සැළසුම කොහේදැයි අසන ඡන්දදායකයින් ඇත්තේ නැත. අපේ ප්‍රාදේශීය සංවර්ධන සැළසුමට ඡන්දය දෙන්නට යැයි ඉල්ලා සිටින පක්ෂ හා අපේක්ෂකයින් ඇත්තේද නැත.

අපේක්ෂකයින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල සහ රැස්වීම්වල වැඩිමනත් වඩා හයියෙන් කතා කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවල කෙරෙන කතා ය. ඒවායේ පොරොන්දු වන ජාතික තලයේ කාරණාම ය. “ගමට/ප්‍රදේශයට කරනවා” යැයි කියා පත්‍රිකාවල සටහන් කරන්නේ පුරුද්දට මෙන් කියන, “පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම, දහම් පාසල් ළමුන්ට නොමිලේ පාසල් උපකරණ ලබා දීම, රජයේ බෙහෙත් ශාලාවේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, දේහය තැන්පත්කර තැබීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා සහන මිලට අවමංගල්‍ය සේවාවක් ආරම්භ කිරීම” වැනි යෝජනා ය. ඒවා ප්‍රදේශයේ බහුතරයකගේ ප්‍රමුඛතා සමග ගැලපේදැයි විමසුමක් නැත. තරග වදින දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ට මග හැරිය නොහැකි ලෙස ප්‍රදේශයේ අවශ්‍යතා සම්බන්ධ කතිකාවක් වරිපනම් බදු ගෙවන ඡන්දදායකයින්ගෙන් කෙරෙන්නේද නැත.  

නිදහසින් පසු පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන පත්කර ගැනීමට පරම්පරා 04 ක් අවුරුදු 75 ට වැඩි කාලයක් ඡන්දය භාවිත කිරීමෙන් පසුවද තමන් ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි වැඩිහිටියන් සේම තරුණයින්ද තවම ඉගෙන ගෙන නැත. එය නෑකමට, කුලයට, ජාතියට, ආගමට, පෞද්ගලික වාසියට “කතිරය” ගසන්නට දුන් බලයක් වගකීමක් නොවන බැව් තේරුම් ගත යුතුව ඇත. ඡන්දය භාවිත කිරීම ගැන ඇති මේ නොදන්නාකම, අනවබෝධය හා නොසැළකිල්ල ගමට නගරයට යැයි වෙනසක් නැත. උගත්කමට, අධ්‍යාපන සහතිකයට අනුව වෙනසක් ඇත්තේද නැත. ඒ කාරණාවේදී සියල්ලන් නූගත් ය. ආත්මාර්ථකාමීය. එනිසා ජනතා නියෝජන ආයතන ලෙස අප නඩත්තු කරන පළාත් පාලන ආයතන සඳහා වාර්ෂිකව වැය කරන රුපියල් කෝටි ගණනක මහජන මුදල අපතේ යන්නේද නැද්ද යන්න වත් නොසළකන සමාජයක අප පුරවැසියන්දැයි අපි අපෙන්ම ඇසිය යුතු වෙමු. මගේ ලජ්ජා සහගත උත්තරය නම් “නැත” යන්න ය. අපි  ආත්මාර්ථකාමී තණිකඩයින් වෙමු.

කුසල් පෙරේරා

2026 ඔක්තෝම්බර 13 න දින

Thursday, October 8, 2026

අධ්‍යාපන ලොක්කන් නොදන්නා “ඔන්ලයින් අධ්‍යාපනය”

 ආණ්ඩුවේ “ඔන්ලයින් අධ්‍යාපන” තීන්දුවට එරෙහිව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පෙරටුව පැවැත්වූ විරෝධතාවක කෙටි විඩියෝ පටයක් ෆේස්බුක්හි අද (දෙසැ.13) දහවල දුටිමි. පාසල් අධ්‍යාපනය මේ වනවිට බිඳ වැටී ඇති විස්තරය සමග දරුවන්ගේ අනගාතය ගැන බිමල් රත්නායක එහිදී කියූ කතාවෙන් මට මතක් වූයේ 1988-90 කාලයේ ඔවුන් මුදා හැරි ත්‍රස්තවාදය සමග “කොළඹට කිරි - ගමට කැකිරි” උද්ඝෝෂණ විසින් පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමන්නට සිදුවූ හැටි ය. මෙය එවැනි අසික්කිත දේශපාලනයක් වෙනුවෙන් ළමුන්ගේ අනාගතය විනාශ කිරීමක් නොවේ. මෙය මුලු ලෝකයම මුහුණ දෙන තවමත් හරියාකාර විසඳුමක් නැති කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙහි අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයකි.

කෝවිඞ්-19 පැතිරීම නිශ්චිත ආකාරයකට පාලනය කරගත නොහැකි වාතාවරණයක අධ්‍යාපනය හැකි උපරිමයෙන් පවත්වා ගැනීමට අලුතින් සැළසුම් කළ යුතු ය. ඒ සඳහා ආණ්ඩුවට මාස ගණනාවක කාලයක් තිබිණ. එවැනි සැළසුමක් තවමත් පෙනෙන්නට නැත. ඒ වෙනුවට කොළඹ මැද පංතිකයින්ගේ “කෝකටත් තෛලය” වන ඔන්ලයින් ප්‍රවේශය ආණ්ඩුවට පහසු විසඳුමක් විය. ආණ්ඩුව ඒ විසඳුම ගුරුවරුන් හා දෙමාපියන්ගේ වගකීමක් ලෙස ඉතිරිකර ඇත. මෙය ඇත්තටම කෝවිඞ්-19 හේතුවෙන් සොයා ගත් උත්තරයක් නොවේ. මෙය යහපාලන ආණ්ඩු කාලයේ සිට කොළඹ මැදපංතිකයින් ඔවුන්ගේ  දරුවන්ගේ අනාගතය ගණන් හදා ඉදිරිපත් කළ පණ්ඩිතමානි යෝජනාවකි. එය කර තියා ගත් අධ්‍යාපන ලොක්කන් මේ කරන්නේ පාසල් අධ්‍යාපනය “ටැබ්” කඳේ ගැසීමකි. කෝවිඞ්-19 වසංගතය හමුවේ වසරින් අඩක පමණ කාලයක් පාසල් වසා තැබෙන විට, ප්‍රශ්න කිරීමකින් තොරව ජාතික මට්ටමින් ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබිණ.

හන්දියේ බුලත් කඩ කලමනාකාරිත්වයෙන් නගරයේ යෝධ වෙළඳසල් සඳහා යෝජනා ඉදිරිපත් කරන ආකාරයට ජ.වි.පෙ “ඔන්ලයින් අධ්‍යාපනය” සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් කිසිවක “ඔන්ලයින් අධ්‍යාපන” අවුලට විසඳුම් නැත. එහෙත් “ඔන්ලයින් අධ්‍යාපනය” සමාජ අවධානයට යොමු කරන්නට මේ මොහොතේ ඔවුන්ගේ “විරෝධය” යොදා ගත හැකිවීම වැදගත්ය.

ජ.වි.පෙ ප්‍රධානියෙකු වන බිමල් රත්නායකට අනුව ඉගැන්වීම් පාසලේ පංති කාමරයේදී කෙරෙනවාද නැතිනම් වෙනත් ආකාරයකින් කෙරෙනවාද යන්න නිදහස් අධ්‍යාපනයට අදාල නැත. කේවිඞ්-19 හේතුවෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි කළ නොහැක. සියලු පාසල් දරුවන්ට එබැවින් අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දිය යුතුය. දෙවැන්න වඩා පහසු අවකාශයක් වන රූපවාහිනි මගින් සියලු ළමුන්ට පාසලේ කෙරෙන පාඩම් ඉගැන්වීම ආරම්භ කළ යුතුය. ඒ ගැන බිමල් කළ විස්තරය අසා සිටින විට සිතෙන්නේ ඒවා හෙට ආරම්භ කළ හැකිය කියා ය.

පළමුව රූපවාහිනියෙන් ඉගැන්වීම ගැන කතා කළහොත් විශේෂයෙන් ජාතික රූපවාහිනියේ අධ්‍යාපනික වැඩ සටහන් ආරම්භකර මේ වනවිට වසර 30 ක් හෝ ඊට වැඩිය. එහෙත් එදා පළමු වැඩසටහන සහ වර්තමානයේ වැඩසටහන් බැලුවහොත් ඒවායේ තාක්ෂණික හෝ ඉදිරිපත් කිරීමේ පිළිවෙතෙහි කිසිදු දියුණුවක් නැත. තවමත් කෙරෙන්නේ පංතියේ කලු ලෑල්ල වෙනුවට මැගී බෝඞ් එකක ගණන් හදමින් විස්තර ලියමින් පංතියේදී වාගේම දේශන පැවැත්වීම, කැමරාගත කර විකාශනය කිරීමය.

රූපවාහිනි යනු දෘශ්‍ය මාධ්‍යයකි. රූපවාහිනියෙහි ඉගැන්වීමට පංතියේ කලු ලෑල්ල අමතක කර ඊට වෙනස්ව විෂයමාලා අලුතින් දෘශ්‍යකරණය කොට සකස් කළ යුතුය. එහි ගුරුවරයාගේ පැහැදිලි කිරීම් අවශ්‍යම විට අවම මට්ටමින් තිබිය යුත්තක් පමණි. එවැනි රූපගත පාඩම් සකස් කිරීම එක් එක් රූපවාහිනි නාලිකා සඳහා ඉඩ නොතැබිය යුතුය. ඒවා ජාතික අධ්‍යාපනයෙහි පාඨමාලා හා විෂයමාලා අනුව සැමට පොදු අධ්‍යාපනික වැඩසටහන් විය යුතුය. එනිසා ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයත් රූපවාහිනි මාධ්‍ය භාවිතයෙහි විශේෂඥයෙකු (විශ්ව විද්‍යාලවල සන්නිවේදන පාඨමාලා සඳහා දේශන පවත්වන අය නොවේ) සහ පාසල්වල විෂය භාර ගුරුවර ගුරුවරියන් හවුල් කරගන්නා අධ්‍යාපන වැඩසටන් නිෂ්පාදන කණ්ඩායමක් සිටිය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුත්තේ එම වැඩසටහන් හැකි උපරිම නාලිකා ප්‍රමාණයකින් කාල සටහනකට අනුව විකාශනය කිරීම සඳහා මැදිහත්වීමට ය.

ජ.වි.පෙ කියන අයුරු එවැනි අධ්‍යාපනික වැඩසටහන් දවසකින් දෙකකින් සම්පූර්ණ කළ නොහැක. එහෙත් රූපවාහිනිය ගැන ඔවුන්ගේ මතක් කිරීම වැදගත් ය.

“ඔන්ලයින් ඉගැන්වීම” ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. එය ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කියන පරිදි සියළුම පාසල් ළමුන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා දීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ළමුන්ට උගන්වන ගුරුවර ගුරුවරියන් 2,40,000 ටද අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ නොමිලේ ලබා නොදී ඔන්ලයින් ඉගැන්වීම් කළ නොහැක.

ප්‍රශ්නය පටන් ගන්නේ එතැනින්ම නොවේ. ප්‍රශ්නය පටන් ගන්නේ මේ රටේ තවමත් පිළිගත හැකි මට්ටමේ අන්තර්ජාල සංස්කෘතියක් (IT Culture) නගරයේද නොමැතිවීමෙහිය. ටැබ් හෝ “සුපිරි දුරකතන” (Smart phones) අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව “සෙල්ෆි” ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆේස්බුක්හි හැමකටම “ලයික්” කරන්නට හා “ෂෙයා” කරන්නටත් පමණි. මේ බොහෝ දෙනාට විද්‍යුත් තැපෑලක් යවා, කතාකර නොකීවහොත් එය බැලෙන්නේ නැත. ජනමාධ්‍යවේදීන් අතරත් තමන් අත ඇති “සුපිරි දුරකතනයෙන්” ගූගල් කර සොයා ගත හැකි තොරතුරු සඳහා මට ඒ දුරකතනයෙන්ම කතා කරන අයද සිටිති. ඔන්ලයින් අධ්‍යාපනය එවැනි පසුගාමී නාගරික සමාජයන්හි සාර්ථක වන්නක් නොවේ.

දෙවැන්න, ඔන්ලයින් අධ්‍යාපනය යනු කවරක්දැයි ගුරුවරු තබා බොහෝ විශ්ව විද්‍යාල ඇදුරන් දන්නේද නැත. තවමත් සියල්ලන් සිතා සිටින්නේ ඔවුන් පංතියේ හෝ දේශනාගාරයේ කළ කතා පරිඝණයක, ටැබ් එකක කැමරාව ඉදිරියේ එළෙසින් කිරීම “ඔන්ලයින් ඉගැන්වීම්” කියා ය. ඔන්ලයින් ඉගැන්වීම් යනු එක ගොන්නකට පංති කාරමයකදී ඉගැන්වූ පාඩම, දැන් නිවෙස්වල විසිර ඉන්නා ළමුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම ය. ඒ සඳහා යොදා ගත හැකි වෙබ් වේදිකා මෙවලම් ගණනාවක්ම ඇත. එවැන්නක් තමන්ගේ පරිඝණකයට, ටැබ් එකට හෝ සුපිරි දුරකතනයට බහා ගත යුතුය. ඉන් භාවිතයට වඩාත් පහසු මෙවලම වන්නේ කුමක්දැයි සහ එය භාවිත කිරීම පිළිබඳව අති බහුතරයක් ගුරුවර ගුරුවරියන්ට, විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන නිලධාරීන්ට දැනුමක් නැත. එය ඔවුන්ගේ වරදක් නොවේ. විශ්ව විද්‍යාල, අධ්‍යාපන පීඨ හා පරිපාලන සේවා පුහුණුවීම් වලදී මෙතෙක් එවැනි දැනුවත් කිරීමක් හුරුවක්, පුහුණුවක් කිසිවකුට ලබාදී නැත.

ඔන්ලයින් ඉගැන්වීමද ඉතා සියුම් දෘශ්‍ය මාධ්‍ය යොදා ගෙන කළ යුත්තකි. එබැවින් රූපවාහිනියට වඩා ප්‍රවේසමෙන් නිසල රූප, සජීවී රූප, පෝසටර ආදිය සමීප රූප ලෙස යොදාගෙන පාඩම් සංවිධානය කළ යුතුව ඇත. නිවසේ සිටින ළමුන් පාඩම සඳහා හසුරුවා ගැනීමටද ගුරුවරයා හෝ ගුරුවරිය සතු විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. පාඩම සංවිධානය කර ගැනීමේදී ළමුන් පාඩමෙහි හවුල්කරුවන් කර ගැනීමද ඔන්ලයින් ඉගැන්වීමේ අවශ්‍යතාවයකි. එවගේම ළමුන්ට හා ගරුවරුන්ට ඔන්ලයින් පාඩම් පාසලේදී මෙන් එක දිගට පැය 05 ක් තබා පැයක්වත් කළ නොහැක. තාක්ෂණික දැනුම සමග එවැනි සියලු කාරණා පිළිබඳව අවම දෙසතියක අලුත් පුහුණුවක් ගුරුවරුනට ලබා නොදී ඔන්ලයින් අධ්‍යාපනයක් හරියාකාරව ආරම්භ කිරීමටවත් නොහැක.

ජ.වි.පෙ බිමල් රත්නායක ඉල්ලා සිටින නොමිලේ අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණ කතාව අදාල වන්නේ එවැනි අනෙක් සියල්ල සම්පූර්ණ වන විටය. සියල්ලන්ට “සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති නිදහස් අධ්‍යාපනයක් ගැන කතාව හමුවන්නේ එවිටය. දැනටත් නිදහස් අධ්‍යාපනය යනු “සියල්ලන්ට සමාන අවස්ථා හා සමාන පහසුකම්” ඇති පාසල් අධ්‍යාපනයක් නොවන හෙයින් සහ ඒ ගැන කිසිවකුගේ අවධානයක්ද නොමැති හෙයින් බිමල් රත්නායකගේ ඉල්ලීම් ගැන කියවෙන්නේ දේශපාලන ඉල්ලීම් ලෙසින් පමණි. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය සමග අලුතින් පාඩම් සැකසීම, ඒවා ඉගැන්වීමට පුරුදු පුහුණු ගුරු සේවාවක් සිටීම, අන්තර්ජාල පහසුකම් හා අනතුරුව ඬේටා ප්‍රමාණ සියල්ලන්ට එක හා සමානව තිබීම වැනි මේ සාධක සියල්ල සම්පූර්ණ නොවන්නේ නම්, නිදහස් අධ්‍යාපනයෙන් අතහැර දැමෙන ළමුන් සංඛ්‍යාව අතිශය විශාල වනු ඇත.

දැනට පාසල් විවෘතකර ඇති පළාත් දෙකක ප්‍රධාන නගර දෙකක ලොකුම පාසල් කිහිපයේ ඔන්ලයින් ඉගැන්වීම් ගැන ඉකුත් සතියේ මා කළ විමසීම් හා විපරම් කිරීම් වලට අනුව, පාසලක දහය වසර සිසු සිසුවියන් 170 ක් 200 ක් අතුරින් පාසල් පැමිණ සිටි ළමුන්ද ඇතුළුව ඔන්ලයින් ඉගැන්වීම් වලට එකතුවී තිබුණේ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවකි. දළ වශයෙන් සියයට 25 ක් පමණය. එහි සරළ තේරුම එතරම් ජනප්‍රිය නොවන පාසල්වල සහභාගිත්වය ඊටත් වඩා අඩු බවය. ඔන්ලයින් පංතිවලට හවුල්වන මේ ළමුන් අතරින් අඩක් පමණ එසේ හවුල් වන්නේ එම පහසුකම් අඩුවක් නැතිව තිබෙන හෙයින් නොවේ. තම දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ හෝ පවත්වාගෙන යා යුතු යැයි කැප කිරීම් කරන දෙමාපියන් ප්‍රතිශතයක්ද ඉන්නා හෙයිනි.

එබැවින් ඔන්ලයින් අධ්‍යාපනය සියල්ලන්ට අර්ථයක් ඇති ආකාරයෙන් සංවිධානය කිරීමට ආණ්ඩුවට බල කර කිව යුත්තේ -

01. රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් අලුතින් සැළසුම්කර නිෂ්පාදනය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට  මාසයක උපරිම කාලයක් ලබාදී එය නියාමනය කිරීමටත්

02. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ පරිපාලකයින්ටත් විදුහල්පතිවරුන්ටත් ගුරුවර ගුරුවරියන්ටත් ඔන්ලයින් අධ්‍යාපනය ගැන අවම දෙසතියක කඩිනම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් වැදගත් ලෙස සංවිධානයකර පැවැත්වීමටත්

03. දැනට අධ්‍යාපන පීඨවල ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව අවම මාසයක විශේෂ පුහුණු වැඩසටහනක් ඇතුළත් කිරීමටත්

04. පවුලේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩු පවුල්වල පාසල් දරුවන්ට හා සියලු ගුරුවර ගුරුවරියන්ට අන්තර්ජාල පහසුකම් හා ඬේටා ප්‍රමාණයක් නොමිලේ ලබා දීමටත්

නොපමාව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමගින් පියවර ගැනීමට ය.

එවැනි පියවර නොගන්නේ නම්, කෝවිඞ්-19 වසංගතයෙන් ආරක්ෂිතව මේ ළමුන්ගේ අධ්‍යාපනය සැළසුම්කර ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ලබන ජනවාරියට පෙර ආණ්ඩුව ජනතාවට පැහැදිලිකර කිව යුතුය.

කුසල් පෙරේරා

2020 දෙසැම්බර 13 වන දින

කොළඹ

ව්‍යවස්ථාව රකින්න ජනතාවක් - ජනවරමක් නොවුනාට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි

 

දැනට පවතින “තාවකාලික ආණ්ඩුව” රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති උල්ලංඝණය කරන බවට මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෝ කිහිප දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේත් වගන්ති උපුටා දක්වමින් බරපතල චෝදනා නගති. එහෙත් ඒවාට කන් දෙන කිසිවකු ගැන අසන්නට දකින්නට නැත. ඔවුන් කතා කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිතිකාරයින්ද නැත. එනිසා මේ රටේ 69 ලක්ෂයක් ඡන්දදායකයින් පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ තමන්ට කිසි සම්බන්ධයක් අදාලත්වයක් නැති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට නොව, එය ඕනෑ විදියකින් උල්ලංඝණය කර ඔවුන් බලාපොරොත්තුවන විසඳුම් ගෙනෙන්නටය.
  
මේ වියතුන්ට මතක ඇති නම්, පසුගිය නොවැම්බර ජනාධිපතිවරණය එළැඹෙන්නට පෙරාතුව ඔවුහු මෙලෙසින්ම නීති තර්කවල එල්ලී සිටියහ. ඊළග ජනාධිපතිවරණයෙන් තෝරා පත් කෙරෙන ජනාධිපතිවරයා 1978 ට පෙර සිටි ජනාධිපති විලියම් ගොපල්ලව වැනි යැයි කීහ. ඔවුන් ඒ දිනවල දිගින් දිගටම කීවේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත් කෙරෙන ජනාධිපතිවරුන්ට කිසිදු විධායක බලයක් නැතැයි කියා ය. විධායක බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යැයි ඔවුහු කීහ.
  
ඔවුන්ගේ ඒ ව්‍යවස්ථාමය තර්ක කිසිත් බහුතර සිංහල බෞද්ධ ජනයාට වැදගත් නොවුනි. ඔවුන්ට අවශ්‍ය වූයේ තීන්දු ගැනීමට නොපැකිළෙන, දැඩි අධිකාරවාදී, ශක්තිමත් නායකයෙකු ය. ඒ වනවිට ගෝසාකාරි සිංහල බෞද්ධ හඬ එක්තරා ආකාරයකට ඔවුන්ගේ නායකයා “සිංහල රජෙකු” ලෙස අර්ථ ගන්වා ගෙන තිබිණ. එනිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නොතැකූ ඒ සිංහල බෞද්ධ ඉල්ලුමට ගැලපෙන ලෙසින් ගෝඨාභය මැතිවරණ වේදිකාවල පෙනී සිටියේය. ඔහු පෙනී සිටියේ “රට කරවන” ජනාධිපතිවරයෙකු ලෙස දිවුරුම් දීමට මිස, නාම මාත්‍රික ජනාධිපති ධූරයකට තේරී පත් වන අපේක්ෂකයෙකු ලෙස නොවීය. ගෝඨාභය පොරොන්දු වූ සියල්ල සහ පෙනී සිටි දේශපාලනය, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් කිහිප දෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නැතැයි බැහැයි කියූ සියල්ලට පටහැනි විය. එබැවින් ගෝඨාභය රාජපක්ෂට දෙනු ලැබූ ඡන්ද 69 ලක්ෂයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට දෙනු ලැබූ ඡන්ද මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට දුන් ඡන්ද නොවේ.
     
එය මේ රටේ සිංහල බෞද්ධ දේශපාලනයේ ප්‍රකාශනයකි. රටේ අභාග්‍ය, ඒ සිංහල බෞද්ධ මතවාදය නාගරික ඉහළ මැද පංතිකයින් විසින්ද කර පින්නා ගැනීමය. මෙතෙක් කෝවිඞ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට ගනු ලැබූ පියවර සතු නෛතික බලය කවරේදැයි එනිසා කිසිවකු ප්‍රශ්න නොකරති. හදිසි නීතියක් නැතිව ඇඳිරි නීතිය පනවන්නේ කෙසේදැයි මේ සමාජයේ ප්‍රශ්න නොවන්නේය. හදිසි නීතිය පැනවීමට පාර්ලිමේන්තුව නොකැඳවන්නේ මන්දැයි රටේ ජනතාව අසන්නේ නැත. කෝවිඞ්-19 වයිරසය මැඩළීම සඳහා මේ ගන්නා පියවර නිත්‍යානුකූලව කිරීමට පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ගන්නට යැයි සමාජය ඉල්ලා සිටින්නේ නැත. ජනාධිපතිවරයාට ඒ සියලු පියවර ගැනීමට ජන වරමක් ඇතැයි නාගරික සිංහල බෞද්ධ සමාජයෙහි බහුතරයක් පිළිගනු ලබති.

මේ සියල්ලෙන් එක දෙයක් තේරුම් ගත යුතුය. විධායක ජනාධිපති ධූරය ඇති කිරීමත් නැති කිරීමත් රටේ ජනතාවට අදාල වූ කාරණා නොවුනි. පළමු වරට 1978 පෙබරවාරියේ විධායක ජනාධිපති ධූරය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙනු ලැබූයේ ජනතාවගේ අවසරය හෝ අනුමැතිය ඇතිව නොවේ. වර්තමාන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපත ලබන්නේම ජනතාවට කිසිදු සම්බන්ධයක් නොමැතිවය. අනතුරුව විධායක ජනාධිපති ධූරය කප්පාදු කෙරුණු 19 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා ඊට එකතු කෙරුණු හැම සංශෝධනයක්ම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නොව, ආණ්ඩු බලයේ ඉන්නා පිරිසගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව සිදු කෙරුණු සංශෝධන ය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා සංශෝධනවල ලියැවී ඇති කිසිවකට ජනතාවගේ සම්බන්ධයක් නොමැත.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම අරුමයක් හෝ ජනතාවගේ නූගත්කම පිළිබඳ ගැටළුවක් නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවට මොනම ආකාරයකින් හෝ අදාල නොවීම පිළිබඳ ගැටළුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කෙරෙන්නේ යැයි තර්ක කෙරුණද, එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ එවැන්නක් අත්දකින්නට නැත. එය මේ සමාජයේ හැම ක්ෂේත්‍රයටම වාගේ පොදු අත්දැකීමකි.
  
චෝදනා කෙරෙන වරදට නියමිත දඩුවම මෙන් දෙවරක් පමණ දිගු කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සැකකරුවන් ලෙස ඉන්නා පුද්ගලයින් ඕනෑ තරම් ඇත. ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ ව්‍යවස්ථාවෙන් ඒවා ආරක්ෂා වන්නේ යැයි 03 වන පරිච්ඡේදයේ 13 වන අනු ව්‍යවස්ථාවට අනුව ලියා තිබියදීම ය. පෞද්ගලික අංශයේ අවම ලක්ෂ 20 ට වැඩි සේවක පිරිස් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන අනු ව්‍යවස්ථාවෙහි (1)(ඈ) හි සඳහන් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ හා වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ මූලික අයිතිය, හීනෙකින් හෝ නොලැබෙන්නකි. ඒ මූලික අයිතිය මාධ්‍යවේදීන් අති බහුතරයටද නැත. අනුන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන ඔවුන්ට ඔවුන්ගේ මාධ්‍ය ආයතනයන්හි වෘත්තීය සමිතියක් පිහිටුවා ගත නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂාකර ඇතැයි කියන්නාවූ ඒ මූලික අයිතීන් දිනා ගන්නට ඉදිරිපත් වූ සේවක සේවිකාවන්ට රැකියා අහිමිවීම සම්මතයක් බවට පත් වූ රටක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන්ට වුවමනාවක් නොමැති වීම ඔවුන්ගේ අනුවණ කමක් නොවේ.

තමන්ගේ ආගම ඇදහීම, බුද්ධ සාසනයට විශේෂ සැළකිල්ලක් ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් [03 වන පරිච්ඡේදයේ 10 වන අනු ව්‍යවස්ථාව සහ 14(1)(ඉ) සහ (ඊ) අනු ව්‍යවස්ථා අනුව] සහතික කර ඇති රටේ, ඒ අයිතිය රැකෙන්නේ අතීත සම්මතයන් මත මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොවන බව, පසුගිය වසර කිහිපයේ මුස්ලිම් ජනතාවගේ අවාසනාවන්ත අත්දැකීම විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන්නාවූ ආරක්ෂාවක් නොමැති විට, එය රකින්නට ඔවුන් අවදානමක් ගන්නේ නැත.

අවුරුදු ගණන් සමෘද්ධිලාභීන් ලෙස ඉන්නා සහ දරිද්‍රතා රේඛාවෙන් දුප්පතුන් යැයි නොපිළිගන්නා නමුත් පවුලක් නඩත්තු කිරීමට තබා තනිව යැපීමට හෝ ස්ථිර ආදායමක් නොලබන ලක්ෂ ගණන් දුගී ජනතාවට අක්‍රීය, අජීවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අයිතිවාසිකම් සම්බන්ධ වගන්ති සතු වටිනාකමක් නැත. “අයිතිවාසිකම් කන්නටද” කියා ඔවුන් අසන්නේ එබැවිනි.

එයට එකතු කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මේ ව්‍යවස්ථා අර්බූද ගැන හා ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී පියවර ගන්නේ යැයි තර්ක කරන පුද්ගලයින් සතු සමාජ පිළිගැනීම හා ඔවුන්ගේ දේශපාලන යයි.  2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරෙන, දූෂණ වංචා වලින් තොර යහපාලනයක් පිහිටුවන බවට ජනතාව හමුවේ සපථකර සිටියේද මේ ව්‍යවස්ථා විශාරදයින් හා විද්වතුන් ය. කතාව කෙටියෙන් කිවහොත් ජනතතාවට අමූලික බොරු කියා අතිශය දූෂිත “යහපාලන” ආණ්ඩු හදන්නට දර දිය ඇදි පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රැකීමට යළි කතා කෙරුවාට ජනතාව ඔවුන්ට කන් දෙන්නේ නැත.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය පිළිබඳ කතා එවැනිය. කෝවිඞ්-19 සමග අද භාවිත වන්නේ ජනතාවට කෙදිනකවත් අදාල නොවුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් හදා ඇති ඒ බරපතල අවුල ය. එවැනි අවුලක් මැද, මෙවැනි භයානක ගෝලීය වසංගතයකට අප මුහුණ දෙන මොහොතක ජනාධිපතිගේ මූලිකත්වයෙන් ආණ්ඩුව ගන්නා පියවර සාධාරණය කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, ලොව අනෙක් රටවල් සමග කෙරෙන සැසඳීම් සමගින්ය. ඒ ගැන මාධ්‍යයෙහි කෙරෙන අසම්පූර්ණ සැසැඳීම් හමුවේ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි ප්‍රබල රටවලට අප මෙන් සාර්ථකව කෝවිඞ්-19 පැතිරීම පාලනය කරගත නොහැකිව ඇතැයි නිතර මතක් කෙරෙන්නේය. ඒ සමග මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත නිවැරදි යැයිද මාධ්‍ය විසින් සමාජ මතයක් තහවුරු කෙරෙන්නේය. ඒ සඳහා අනෙක් රටවල ජනගහනය සහ ආසාධනය විය හැකි යැයි ගණන් බලා ඔවුන් දිනකට පරීක්ෂාවට ලක් කරන පුද්ගලයින් සංඛ්‍යාව, දෛනිකව සුවය ලබා පිටත්වන සංඛ්‍යාව, ඔවුන්ගේ රටේ ආර්ථිකය අඩපණ නොවන්නට ඔවුන් ගෙන ඇති පියවර වැනි කිසිදු සාධකයක් ගැන කතා වන්නේ නැත. එබැවින් අපගේ ආර්ථිකයට සිදුවන්නේ කුමක්දැයි කතා වන්නේද නැත. සන්සන්දනය කරනු ලබන්නේ ආසාධිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පමණි. එසේ ගත් විට මිලියන 21 ක ජනගහනයක් ඇති අප, ඉදිරියෙන් යැයි කිව හැක. 

ඒ වෙනුවෙන් අප කතා නොකරන්නේ ඉකුත් අප්‍රේල් 11 වන දා වනවිට මිලියන 162 ක් ඉන්නා බංගලිදේශය ආසාධිතයින් 424 ට හා මරණ 27 ට සීමා කර ගත්තේ කෙසේදැයි කියාය. මිලියන 52 ක ජනතාවක් ඉන්නා කෙන්යාවේ ආසාධිතයින් 187 ට හා මරණ 07 ට සීමා කෙරුණේ කෙසේද යන්නය. මිලියන 29 ක ජනගහනයක් ඇති වෙනිසියුලාව ආසාධිතයින් 175 ට හා මරණ 09 ට සීමා කරගත්තේ කෙසේද යන්නය. සිංගප්පූරුව, තායිවානය හා හොංකොං වැනි රටවල් කෝවිඞ්-19 පැතිරීම සාර්ථකව පාලනය කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකයද රැක ගත්තේ කෙසේදැයි අපි කතා නොකරමු. එනිසා අපට අපගේ අත්දැකීම ඉතා ඉහළය.  

නාගරික මැද පංතිය සිතන්නේද එළෙසින්ය. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව හෝ කෝවිඞ්-19 පාලනය කිරීමේදී ජනාධිපති ප්‍රමුඛව ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව හෝ ඔවුන් ප්‍රශ්න නොකරන්නේ ඔවුන්ද ඒ ගොඩ නැගෙන සමාජ මතයට හවුල් වන බැවිනි. ජනාධිපති හා ආණ්ඩුව තීන්දු කරන්නාවූ පියවර හා ප්‍රතිපත්ති සමග ඔවුන්ට ගැටළුවක් ඇත්තේද නැත. ඔවුන්ගේ දෛනික අවශ්‍යතා දිනක් දෙකක් පමා වී හෝ ඉටුකර ගත හැකි ඉඩක් දැන් ඇති හෙයිනි.

කෝවිඞ්-19 යේ සියලු බලපෑම් සමස්ථයක් ලෙස ගෙන විස්තර කතා කරන විපක්ෂයක් අපට ඇත්තේ නැත. විපක්ෂයේ කිසිදු පාර්ශවයකට, කිසිදු පක්ෂයකට අද හමුදා මැදිහත්වීම් හා අධීක්ෂණය සමග ආණ්ඩුව ගන්නා පියවර සතු අයහපත් බලපෑම් ගැන, සමාජයේ බහුතරයකට සිදුවන අවහිර සහ අසාධාරණය ගැන, රටේ ආර්ථිකයට සිදුවන හානිය ගැන කතා කිරීමට කොන්දක් නැත. කෝවිඞ්-19 යොදා ගනිමින් ජනාධිපති හිතුවක්කාර අත්තනෝමතික පාලනයකට පාර සකසා ගන්නේ යැයි “සමගි ජන බලවේගය” ලෙස නිකුත් කර ඇති නිවේදනයද ආත්ම විශ්වාසයක් සහිත තමන්ගේ දේශපාලනය ඉදිරිපත් කරන නිවේදනයක් නොවන්නේය. මේ අර්බූදයෙහහි ජ.වි.පෙ කොහේදැයි සොයා ගන්නටවත් නොසිට, පාර්ලිමේන්තුව යළි කැඳවීමට හා ලැබී ඇති විදේශාධාර සම්බන්ධව සාකච්ඡා කළ යුතු යැයි හදිසියේ ප්‍රකාශ කර ඇත. කෝවිඞ්-19 සමග ව්‍යවස්ථාමය ආරවුල ගැන සවිස්තර ප්‍රකාශයක් කරමින් එය මේ පමණට හෝ දකුණේ සමාජයෙහි අවධානයට යොමු කිරීමට උත්සාහ ගනු ලැබූයේ දෙමළ ජාතික සන්ධානය විසින් පමණි. 
  
විපක්ෂ දේශපාලනයේ ඇබිත්තකම් හමුවෙහි, තාවකාලික වැඩ බලන ආණ්ඩුවක් වන මේ ආණ්ඩුවේ ආසන්නම බලහත්කාර පියවර ලෙස වාර්තා වන්නේ සෞඛ්‍ය ඇමතිනිය විසින් මෘත දේහ ආදාහනය කිරීම සඳහා නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය. මැතිවරණයකින් තෝරා පත් කළ ආණ්ඩුවක ඇමතිවරයෙකුට හෝ පාර්ලිමේන්තුවෙහි සම්මත නොකර නීති, අණ පනත් සංශෝධනය කළ නොහැක. ආණ්ඩුව මෙවැනි ගමන් යෑම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා ලිපියකින් හෝ ආණ්ඩුවෙන් මෙතෙක් ප්‍රශ්නකර නැත. පසුගිය වසර කිහිපයේ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් විශිෂ්ට මැදිහත්වීම් කිහිපයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ජනාධිපතිගේ මූලිකත්වයෙන් ගනු ලැබූ පියවර කිසිවක් මෙතෙක් ප්‍රශ්න කර නැත.  

ජනාධිපතිගේ මූලිකත්වයෙන් මේ ආණ්ඩුව පනවන සියලු ඇඳිරි නීති නියෝග විපක්ෂයත් නීතිඥ සංගමයත් මානව හිමිකම් කොමිසමත් වෘත්තිකයින්ගේ සංවිධාන හා වෘත්තීය සමිතිත් සමස්ථ සමාජයත් පිළිගනිති. පිලිපදිති. ඊට යටත් වෙති. ඒවා එළෙසින්ම පිළිපැදිය යුතු යැයි සමාජ මතය හැදීමටද දායක වෙති. අනෙක් සියලු නිවේදන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරද එසේම ය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටම පිළිගනිමින් අවනත වන ආණ්ඩුවේ තීන්දු, තීරණ, නියෝග රටේ පිළිගත් වලංගු නීතිය බවට පත්වන විට, සමාජ අවධානයක් නොලැබෙන, ජනතාවට වැදගත් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජ පැවැත්මෙහි වලංගු නීතිය වන්නේ නැත. අද අර්බූදය ඇත්තේ එහිය.
       
එය ව්‍යවස්ථාමය අර්බූදයක් නොව, බරපතල දේශපාලන හෙයියම්මාරුවකි. සම්මත ව්‍යවස්ථානුකූල පැවැත්මට පිටින් සිංහල බෞද්ධ හඬ නැගීම්ද ඇතිව ගමන් අරඹා ඇති මේ දේශපාලනයට මුහුණ දිය හැක්කේ නීති තර්ක මත නොව, සමාජයක් හැටියට මේ අර්බූදයෙහි දේශපාලනයට අලුත් විසඳුම් සෙවීමෙනි. ජනතාවට අවශ්‍ය නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිපාදන අනුව කටයුතු කළ යුතු යැයි තර්ක කිරීමත් අද විහිළුවකි. පසුගිය නොවැම්බරයේදී ජනතාව ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන් නොවන නිසාවෙනි. එහෙත් ආණ්ඩු පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම හා ජනතාවට වගවීම විනය ගරුක, ශිෂ්ට සම්පන්න සමාජයක අත් හල නොහැක්කකි.  

එබැවින් නැවත පාර්ලිමේන්තුව කැඳවීම ඉල්ලා සිටිය යුත්තේ ව්‍යවස්ථාවේ වගන්ති අනුව නොව, ජනතාව හමුවේ ආණ්ඩුව සතු වගකීම ඉටු කිරීමටය. කෝවිඞ්-19 ක්‍රියා පිළිවෙත සංවාදයට තබන්නටය. ආණ්ඩුව පිහිටුවා ඇති කෝවිඞ්-19 සඳහාවන අසීමිතව ආධාර එකතුවන මහජන අරමුදලත් යුරෝපා සංගමයෙන් හා වෙනත් රටවලින් ලැබුණු විදේශාධාර ජනතාවට මිස ආණ්ඩුවේ නායකයින්ට ලැබුණු මුදල් නොවන බවත් සමාජය හමුවේ අවධාරණය කරමින් රුපියල් කෝටි ගණනක එම ආධාර හා අරමුදල් භාවිත කරන්නේ කවර වැඩ සටහන් සඳහා කෙසේද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි සමාජ මතයක් තහවුරු කළ යුතුව ඇත. එවගේම, රටේ ආර්ථිකය පවත්වා ගැනීම උදෙසා යැයි ආණ්ඩුව අත්‍යාවශ්‍ය අපනයන නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් සමග ඇතිකර ගන්නා සම්මුතීන් ලක්ෂ ගණනක් සේවක සේවිකාවන්ට කෙසේ බලපානු ඇතිද යන කාරණාද සමාජය හමුවේ විවෘතව සාකච්ඡා කළ යුතු අතිශය වැදගත් කාරණා ය.
  
මේ හැම දැන් අතිශය වැදගත් වන්නේ ආණ්ඩුව හදිසියේ කෝවිඞ්-19 මැඩලීමෙන් ඉවත්වීමේ මූලෝපායකට (Exit Strategy) සේන්දුවන බවක් දැකිය හැකි බැවින්ය. ලබන 19 වන දිනෙන් කෝවිඞ්-19 වසංගතය අවසන් වනු ඇතැයි සෞඛ්‍ය ඇමතිනිය කියූ විට එය හාස්‍යයට ලක් කෙරුණත් ඊළඟ පාසල් වාරය මැයි 11 වන දින ආරම්භ කෙරෙන බවත් විශ්ව විද්‍යාල පියවර දෙක තුනකින් එදින සිට විවෘත කරන බවත් වාර්තා කෙරුණු විට එය හාස්‍යයක් නොවන බව ඒත්තු යන්නකි. ඉවත්වීමේ මූලෝපායකට මුල පිරීම අතිශය ප්‍රවේසමෙන් කළ යුත්තකි. සමාජයේ දෛනික ජිවිතය නැවත යථා තත්ත්වයට ගෙන ඒම යළි කෝවිඞ්-19 ට ඉඩ නොතබා කළ යුත්තක් වන අතර, ආර්ථිකය යළි ගොඩ ගැනීමත් එවැනිම භාරධුර කාර්යකි. එබැවින් කෝවිඞ්-19 සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පාර්ලිමේන්තුව හමුවේ තැබීම ව්‍යවස්ථා වගන්ති වලට සීමා වන්නක් නොවන බව විපක්ෂය තේරුම් ගත යුත්තකි. එය ජනතාවගේ අනාගතය පිළිබඳව ආණ්ඩුව සතු ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් වාගේම විපක්ෂය සතු වගකීමක්ද වන්නේය.  

එබැවින් ඒ වගකීම පාර්ලිමේන්තුවට නතු කර ගැනීම ආසන්න සංක්‍රමණික පියවරක් ලෙස සමාජය හමුවේ තැබිය යුත්තේ අත්‍යාවශ්‍ය හදිසි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් වශයෙනි. එහෙත් එයම අවසාන විසඳුම නොවන බව දැනගෙන ඉදිරි යෝජනා සමාජගත කළ යුතුව ඇත. ඒ සඳහා විශ්වාසයක් සහ වැඩපිළිවෙලක් ඇතිව ඉදිරිපත් වන්නට විපක්ෂයේ දේශපාලන නායකත්වයක් නොමැති වීම, වඩාත්ම බරපතල අර්බූදය වන්නේය. ඒ තාක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රකින්නට ජනතාවකුත් ජනවරමකුත් හමු නොවනු ඇත.
 
කුසල් පෙරේරා
2020 අප්‍රේල් 12 වන දින

“කෘතිම බුද්ධිය” සමග අපි යන්නෙ කොහේටද?

“කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ. ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ. “කෘතිම බුද්ධිය” සම්බන්ධ අදහස අවුරුදු ද...