Monday, October 19, 2026

ළමුන්ට පෙර ගුරුවරුන් හැදිය යුතුය

Courtesy Daily Mirror
මීට සතියකට ආසන්නයේ, පසුගිය ඔක්තොම්බර 15 වන දින අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස මල්වතු-අස්ගිරි පාර්ශව නායක ස්වාමීන්වහන්සේ දෙපළ හමුවී, ලබන 2027 ජනවාරියේ සිට 02 වන හා 06 වන ශ්‍රේණි වලින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා යැයි උන්වහන්සේලා දැනුවත් කර ඇත. සමාජ කතිකාවක් ඔස්සේ සම්පාදනය කළ යුතුව තිබූ නමුත් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටද නොකියූ, මැතිවරණයේදී පොරොන්දුවූ ආණ්ඩු පාලනයේ සමාජ වගවීම හා පාරදෘශ්‍යභාවය අහළකවත් නැති, සමාජයට ප්‍රසිද්ධ නොකර මෙතෙක් ඉතා දැඩි රහසක් ලෙස තබා ගෙන පැමිණි ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ රට තවමත් දන්නා දෙයක් නැත. අප දන්නේ ඇය කියන්නාවූ මෙය, “විෂයමාලා වෙනස් කිරීමකට වඩා බොහෝ දුර යන, සමස්ථ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්නාවූ පරිවර්තනයක්” බව ය. “අපගේ අනාගතය හදන්නේ දියුණු ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් සමග” යැයි ඇය කියූව පමණය.

රටට නොකියූ, රටම නොදන්නා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලිකර ගැනීම් සඳහා යැයි සතියකට පමණ ඉහතින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “බෙදා ගැනීමට පෙර සත්‍යාපනය කරන්න” කියා වෙබ් අඩවියක් සක්‍රීයකර ඇත (https://edureformfact.moe.gov.lk). යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව එම වෙබ් අඩවියෙහි හෝ පළ කර නැත. වෙබ් අඩවියෙහි ප්‍රධානම උවදෙස වන්නේ, “අධ්‍යාපනය පිළිබඳ ප්‍රකාශ නිල සාක්ෂි සමග පරීක්ෂාකර සැක සහිත තොරතුරු සමාලෝචනයට යොමු කරන්න” යන්න ය. නොදන්නා ප්‍රතිසංස්කරණ සියල්ල සැක සහිත ය. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන තෙක් මේ වෙබ් අඩවියෙන් වැඩක් නැත. අතාර්කික, මෝඩ ප්‍රචාරකවාදී එළැඹුමක් ලෙස මේ සඳහා නාස්ති කළ රුපියල් ලක්ෂ ගණනක මහජන මුදල් පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දක්වන සැළකිල්ල කවරක්දැයි බැලීමද වටිනේය.      

මෙහි මා අවධානය යොමු කරන්නේ නොදන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත නොවේ. මෙහි මා අවධානය යොමු කරන්නේ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මල්වතු-අස්ගිරි නායක ස්වාමීන්වහන්සේ දෙපළ සමග කියූ 2027 වසර සඳහා අලුතින් ගුරුවරුන් බඳවා ගැනීම ගැන ය. මාධ්‍ය වාර්තා කළ අයුරු, උපාධීධාරීන් 23,000 ක් ගුරුවර ගුරුවරියන් ලෙස බඳවා ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඇත. ඒ සඳහා ඉකුත් මැයි මාසයේ පැවැත්වූ ලිඛිත විභාගයෙන් 17,688 ක් සමත්ව ඇත. ඔවුන් සඳහාවන සම්මුඛ පරීක්ෂණ ලබන නොවැම්බර 15 වන දිනට යොදා ඇත. ආචාර්ය හරිනි අමරසූරිය මල්වතු-අස්ගිරි නායක ස්වාමීන්වහන්සේ දෙපළ සමග කියා තිබුණේ අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා පමණක් නොව, ඔවුනට ගුරු පුහුණුවක්ද ලබා දෙන බවය.

මෙය කතා කළ යුතු මාතෘකාවකි. පළමුව ඇසිය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය “ගුරුවරයා” යැයි කතා කරන්නේ කවරෙකු ගැනදැයි කියා ය. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව ගුරුවරයෙකු යනු “දේශයේ අනාගතය ගොඩනැගීමේදී අධ්‍යාපන පද්ධතියෙහි ඇති තීරණාත්මක මානව සම්පත වන්නේය.” අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු පත්වීම් ලබා දෙන්නේ “දේශයේ අනාගතය ගොඩනැගීම” සඳහා වන මානව සම්පත් තෝරා ගෙන දැයි මම නොඅසමි. ඒ අතර, 2014 ඔක්තෝම්බර 23 වන දින අංක 1885/38 දරණ ගැසට් පත්‍රයට අනුව “ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය” විසින් ගුරුවරයෙකු යැයි අර්ථ දක්වන්නේ ගුරු සේවාවේ සාමාජිකයෙකු ලෙස “රජයේ පාසලක ළමුන්ට ඉගැන්වීමේ මූලික කාර්ය ඉටු කරන්නෙකි”. එසේ ගතහොත් කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ රජය විසින් පිළිගනු ලැබ ඇති, ජාතික විභාග සඳහා ළමුන් සූදානම් කරන පෞද්ගලික පාසල් 95 ක පමණ උගන්වන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයකි.

යුනෙස්කෝවට අනුව, ගුරුවරයෙකු යනු විෂය ඉගැන්වීමට සහ ළමුන්ගේ දැනුම පුළුල් ලෙස වර්ධනය කරන්නට අමතරව ඔවුන්ගේ බුද්ධිමය දියුණුව වෙනුවෙන් සහාය වන්නකුද වේ. ඉගෙන ගන්නා සැමට දියුණු අධ්‍යාපනයක් ලැබීමට, වැදගත් සහායක් ඇතිව හරියාකාරව පුහුණු කරන ලද ගුරුවරයෙකු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ යැයි යුනෙස්කෝව කියන්නේය.

යුනෙස්කෝවේ අර්ථදැක්වීම පාදක කරගතහොත් “ගුරුවරයෙකු” යනු ළමුන්ගේ අධ්‍යාපනයට, ඉගෙනුමට සහාය වන්නෙකු හා මග පෙන්වන්නෙකු මිස, වර්තමානයේ මෙන් විභාග සමත්වීම ඉලක්ක කර ළමුන්ගේ ළමා ජීවිතය මකා දමන්නෙකු නොවේ. ආචාර්ය හරිනි අමරසූරිය කියන්නාවූ “ගුරු පුහුණුව” කවරක්දැයි අසන්නට සිදු වන්නේ එනිසා ය. ඇය කියන්නාවූ ගුරු පුහුණුව ගැන කිසිදු විස්තර දැන්වීමක් නැත. එහෙත් එක දෙයක් කිව යුතුය. හුදෙක් විෂය දැනුම ඉගැන්වීමට සමතෙකු වූ පමණින් ගුරුවරයෙකු පරිපූර්ණ, දක්ෂ ගුරුවරයෙකු වන්නේ නැත. අපගේ වැනි ඌණ වර්ධිත රටවල ගුරුවරයෙකු පරිපූර්ණ, දක්ෂ ගුරුවරයෙකු වන්නේ, ආකල්පමය වශයෙන්ද දියුණු, සදාචාර සම්පන්න, විනයක් ඉවසීමක් සහිත පරාර්ථකාමී පුද්ගලයෙකුද වූ විටය. පංතියේ ළමුන් ඉදිරියේ පමණක් නොව, සමාජය හමුවේද ප්‍රසන්න, ආදර්ශමත් චරිතයක් වූ විටය.

අනාගතවාදී දියුණු තරුණ පරපුරක් හදන්නට හැකි, ලොවට විවෘත වූ එවැනි ගුරුවරුන් “පුහුණුකර” අධ්‍යාපන පද්ධතියට එකතු කළ හැකි ප්‍රතාපවත් දැනුවත් ගුරු පුහුණුකරුවන් මේ රටේ නැත. මේ රටේ විද්‍යා පීඨවල ඉන්නා අති බහුතරයක් තමන් ගුරු පුහුණුකරුවෙකු යැයි සිතා සිටින, දසක ගණනාවක් ෆොසිලගත වූ මාන්නාධික හිස් චරිත සමූහයකි. අගමැතිනිය දන්නේදැයි නොදන්නේදැයි නොදනිමි. 1986 පමණ ආරම්භ කෙරුණු ගුරුවරුන් හැදීමේ “ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ” වැඩවසම්වාදී අති ප්‍රාථමික, ආකල්පමය වශයෙන්ද නොදියුණු ගුරු පුහුණුකරුවන්ගේ ලැගුම් හල් වැනිය. ඒවායේ ප්‍රථාපවත් පෞරුෂයක් ඇති ගුරුවර ගුරුවරියන් හැදෙන්නේ නැත. හදන්නටද නොහැක. ගුරු පත්වීම් ලබාදී ඒවායේ පුහුණු කෙරෙන්නේ උසස් පෙළ විභාගයටද පෙනී සිටි වැඩිහිටි තරුණ තරුණියන් වූවත් ඔවුන්ට විවාහය තහනම්ය. පුහුණුව නේවාසික වන අතර තරුණියන්ට සුදු සාරිය හැර වෙන කිසිවක් හැඳ දේශන වලට පමණක් නොව, විද්‍යා පීඨ භූමියෙන්ද පිට විය නොහැක. ඒවායේ පුහුණු කිරීම් යැයි කෙරෙන්නේ බන්ධනාගාර විනයක් වැනි කිසිදු නිදහසක් නැති කුරිරු පාලනයක් යටතේ ය. එළෙසින් “පුහුණු කර” පෞරුෂය මොට කළ ගුරුවර ගුරුවරියන් අවුරුදු 30 ක කාලයක් පාසල් වලට යවා ඇත.

අධ්‍යාපන විද්‍යා පීඨ වලින් බැහැරව විශ්ව විද්‍යාල උපාධි වලට අමතරව පළාත් සභා පත්වීම්, උසස් ජාතික ඩිප්ලෝමා (ඉංග්‍රීසි) වැනි වෙනත් ආකාරයන්ගෙන් ගුරු පත්වීම් ලැබූවන්ද ගාල් කර ඇති සහ එවැන්නන්ට “සේවා පුහුණු” ලබා දීමට ස්ථාපිතකර ඇති ප්‍රාදේශීය ගුරු මධ්‍යස්ථාන 100 ක තත්ත්වයද ඊට වෙනස් නැත. ඒවාද යහපත් සේවා පුහුණු මධ්‍යස්ථාන නොවන බැව් කිව යුත්තක් නොවේ. තනි කෙටි වාක්‍යයකින් කිවහොත් වර්තමාන ගුරු පරපුර සහ ඊට අලුතින් බඳවා ගන්නවුන් වෘත්තිමය වශයෙන් ගුරුවරුන් නොවේ.

ඒ කියමන පහසුවෙන් තේරුම් ගැනීමට හැක්කේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමුන්ට එරෙහිව සිදු කෙරුණු හිංසන සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිරික්සීමෙනි. බ්රිතාන්‍යයේ බැරිස්ටවරියක් වන තරංගී මුතුකුමාරණ “ශ්‍රී ලංකාවේ ළමා හිංසන අර්බුදය” මැයෙන් ලියූ ලිපියක සඳහන් වන්නේ 2020 වසරේ පළමු දින 60 ඇතුළත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිළි 2,500 ට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 ඔස්සේ දිනකට පැමිණිලි 40 ට වැඩිය ලැබෙන බවත්ය.

ළමා ආරක්ෂක අධිකාරිය 2019 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ පාසල්වල ළමා විනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන පියවර” සම්බන්ධ ඔවුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යනයකට අනුව, සියයට 80 ට වැඩි ළමා ප්‍රතිශතයක් පාසල් වියේදී එක් වරක් හෝ දඬුවමක් වශයෙන් ශාරීරික පහරදීමට ලක්ව ඇත. ඉන් සියයට 42 ට කෝටුවකින් හෝ එවැනි ඝණ පටියකින් පිටු පසට පහරදී ඇත. තවත් සියයට 25 ට ආසන්න ප්‍රතිශතයකට කම්මුලට, කණට හෝ හිසට පහර දී ඇත. එවැනි ශාරීරික දඬුවම් පිළිබඳව ළමුන් කියා ඇති විස්තර වලට අනුව පයින් ගැසීම, බෙල්ලෙන් ඇද බෙල්ල හිර කිරීම, බිම දමා පහරදීම, ශරීරය තැනින් තැන පිච්චීම, හැකි තරම් දරුණු ලෙස දිගින් දිගට පහරදීම සඳහන් වන්නේය. එවගේම අනෙක් ළමුන් ඉදිරියේ ගොනා, බූරුවා, බල්ලා වැනි අපහාස කිරීම්, අමානුෂික ලෙස තර්ජනය කිරීම් වැනි මානසික හිංසන සිදු කෙරෙන්නේ යැයිද ළමුන් කියා ඇත. (පිටු 29/31)   

සාපේක්ෂ වශයෙන් ගැහැණු ළමුන්ට එවැනි බරපතල ශාරීරික හිංසන කිරීම් අඩුය. එහෙත් එම අධ්‍යනයෙන් කෙරෙන අනපේක්ෂිත හෙළිදරුව්වක් වන්නේ ළමුන්ට වැඩියෙන්ම දඩුවම් කරන්නේ ගුරුවරියන් (සියයට 73.4 කි) වීමය. වයස් කාණ්ඩ අනුව වැඩියෙන් ශාරීරික දඬුවම් දෙන්නේ වයස 30 ත් 39 ත් අතර ගුරුවර ගුරුවරියන් ය. 

පාසල්වල ළමුන්ට එරෙහි ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම ඉතා වැඩි යැයි මෙම අධ්‍යනයෙහි විධායක සම්පිණ්ඩනයෙහි සඳහන් වන්නේ ය. බොහෝ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශාරීරික දඬුවම් අවශ්‍ය යැයි විශ්වාස කරන්නේ යැයිද, එයට හේතුව ඔවුන්ගේ පාසල් විය අත්දැකීම් යැයිද එහි සඳහන්ව ඇත. පාසලෙහි නඩත්තු කෙරෙන මේ ප්‍රචණ්ඩත්වය, අපගේ අපරාධ නීතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍ර ලේඛ උල්ලංඝණය කෙරෙන්නකි.

ළමුන්ට ශාරීරිකව දඩුවම් කිරීම නීති විරෝධි යැයිද නීතියට අනුව අපරාධයක් යැයිද සඳහන් වන්නේ 1939 අංක 48 දරණ ළමා හා තරුණ පුද්ගල ආඥා පනතේ 71(6) වගන්තියට අනුව ය. එහි සඳහන් වන්නේ දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වෙනත් අයට ළමුන්ට දඩුවම් කළ නොහැකිය යැයි කියා ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 12/2016 දරණ චක්‍ර ලේඛයේ 04 වන වගන්තියෙන් ඉතා නිරවුල්ව සියලු ආකාරයේ ශාරීරික හා මානසික දඬුවම් සපුරා තහනම් කර ඇත. ශාරීරික හා මානසික දඬුවම් තහනම් කිරීම සියලු රජයේ හා රජය විසින් අනුමත පාසල් වලට අදාල වන අතර, දඬුවම් කිරීමකින් තොරව ළමුන්ගේ විනය තහවුරු කර ගැනීමේ වගකීම විදුහල්පතිවරුන්ට හා ගුරු මණ්ඩලයට පැවරෙන්නකි. එහෙත් ඉන් අපේක්ෂා කරන්නාවූ ශිෂ්ඨ පැවැත්මක් පාසලෙහි නැත. පාසල හා පංතිකාමරය ප්‍රචණ්ඩත්වයෙන් තොර, සාමකාමී, නිදහස් ළමා කේන්ද්‍රීය යහපත් එකතුවක් නොවන්නේ ළමුන් නිසාම නොවේ. ඒ මන්දැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපනඥයින් නොකීවත් අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමට පෙර, සමාජ විද්‍යාඥයෙකුද වන ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස ඒ ගැන සිතිය යුතුය.

මේ ප්‍රචණ්ඩත්වය පාසලට, පංතිකාමරයට හා ගුරුවරුන්ට සීමා වන්නක්ම නොවේ. චක්‍ර ලේඛ මගින් දන්වා ඇති “දඬුවම් කිරීමකින් තොරව ළමුන්ගේ විනය තහවුරු කර ගැනීම” පාසලේදී පමණක් පවත්වා ගත හැක්කක් නොවේ. එය සමාජීය පිරිහීමෙහි ප්‍රකාශනයකි. එය දෙමාපියන්ද පංගුකාරයින් වන සමාජයේ වගා වන ප්‍රචණ්ඩත්වයෙහි ප්‍රකාශනයකි. එනිසා විෂයන්ට හා ආචාර ධර්ම වලට එහා යන, “එකමුතුව හා සමාජ සංහිඳියාව, අනෙකාගේ අනන්‍යතාව පිළිගන්නා සහ ඊට ගරු කරන්නාවූ මනුෂ්‍යත්වය, අනෙකා පරදා තමන් ජය ගැනීමේ තරගකාරී ආත්මාර්ථකාමිත්වය ප්‍රතික්ෂේප කෙරෙන පරාර්ථකාමී සමාජයකට අවශ්‍ය” ගුරු පුහුණුවක් සැළසුම්කර ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ එක ප්‍රධාන වගකීමකි. එහෙත් එය හුදකලා ව්‍යායාමයක් ලෙස අසාර්ථක වන්නකි. ඊට අවශ්‍ය විවෘත සමාජ මතවාදය තහවුරු කිරීම සමගින් සමගාමීව එය දියත් විය යුතුය. ආචාර්ය හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු මූලික පදනම විය යුත්තේ එය ය. ඇත්තම කතාව නම්, මේ බරපතල සමාජ පිරිහීම සමග අධ්‍යාපනය පමණක් වෙනම ප්‍රතිසංස්කරණය කළ නොහැක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සමාජ සංවර්ධන සැළසුමක් අනිවාර්ය වන්නකි. දියුණු ගුරු පරපුරක් එහි අනිවාර්ය අත්‍යාවශ්‍ය සාධකයකි. ළමුන්ට පෙර ගුරුවරුන් හැදිය යුතු යැයි කියන්නේ එබැවින් ය.

එවැනි දියුණු දුර දිග යන ප්‍රතිසංස්කරණ රහසිගතව, කල්ලියක් විසින් සම්පාදනය කිරීම අතිශය අවදානම් සහිතය. ක්‍රියාත්මක කිරීමට පටන් ගත් පසු තැනින් තැන, විටින් විට කෑලි කපා වෙනස් කළ නොහැක. ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනී ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කළ යුතු යැයි කියන්නේ, කලින් වර මෙන් වෙබ් අඩවි අවුල් හේතුවෙන් කල් තබන්නට හේතු නොවන, සමාජය විසින් කරන්නාවූ ගුණදොස් විචාරයෙන් පසු සියල්ලන්ගේ එකඟත්වයක් ඇතිව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු හෙයිනි.

කුසල් පෙරේරා
2026 ඔක්තෝම්බර 19 වන දින



No comments:

Post a Comment

“කෘතිම බුද්ධිය” සමග අපි යන්නෙ කොහේටද?

“කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ. ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ. “කෘතිම බුද්ධිය” සම්බන්ධ අදහස අවුරුදු ද...